05th January 2023 19:49:08 Hours
යුද්ධ හමුදාවේ පාලන කටයුතු විධිමත්ම පවත්වාගෙන යාම සඳහා අනාරක්‍ෂිත සන්නිවේදන පද්ධතිවල අවශ්‍යතාවය සපුරාලමින් 10 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ භටපිරිස් විසින් එකලස් කරන ලද නව ‘ෆ්ලෑෂ් කොම්’ (FLASH COM) නම් ගුවන් විදුලි සන්නිවේදන යන්ත්‍රය පසුගිය බ්‍රහස්පතින්දා (05) දින ප්‍රධාන සංඥා නිලධාරි මේජර් ජෙනරල් එච්.එම්.එල්.ඩී. හේරත් ආර්එස්පී යූඑස්පී පීඑස්සී විසින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ වෙත නිල වශයෙන් භාරදෙනු ලැබීය.
යුද්ධ හමුදාවට විශ්වාසවන්ත සහ ආරක්‍ෂිත යුද සන්නිවේදන උපකරණවල වර්තමාන අවශ්‍යතාවයන් පිළිබඳ අවබෝධ කරගත් ශ්‍රී ලංකා සංඥා බලකාය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් හා ප්‍රධාන සංඥා නිලධාරි ගේ සෘජු අධීක්‍ෂණය සහ ශ්‍රී ලංකා යුධ හමුදා තොරතුරු තාක්‍ෂණ අංශය එක්ව මෙම ගුවන් විදුලි සන්නිවේදන යන්ත්‍රය එකලස් කරනු ලැබීය.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ පරිපාලනමය අවශ්‍යතාවයන්ට භාවිතා කිරීමේ අරමුණින් ආනයනික කොටස් භාවිතා කරමින් පහසුවෙන් රැගෙන යාමට හැකිවන පරිදි මෙම ගුවන් විදුලි සන්නිවේදන යන්ත්‍රය ශ්‍රී ලංකා සංඥා බලකායේ විශේෂඥයින් විසින් අඩු පිරිවැයක් දරමින් වැඩිදියුණු කරනු ලැබීය.
10 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් එච්.එම්.බී.එම්.බී. හේරත් යූඑස්පී ප්‍රමුඛ එම ඒකකයේ භටපිරිස් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සමඟ එක්ව ක්‍රියාවට නැංවූ මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සන්නිවේදන ක්ෂේත්‍රයේ තිරසාරභාවය සහ ආරක්‍ෂක නිෂ්පාදනය පිළිබඳ දිගුකාලීන සැලසුම්වල තවත් එක් පියවරකි.
මෙම ගුවන් විදුලි සන්නිවේදන යන්ත්‍රය නිරීක්‍ෂණය කළ යුද්ධ හමුදාධිපතිතුමන් මෙම ව්‍යාපෘතිය යථාර්ථයක් බවට පත්කිරීමට ගත් උත්සාහය අගය කළ අතර එමඟින් රටට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ඉතිරි වන බව ද ප්‍රකාශ කළේය.