05th January 2023 11:53:49 Hours
පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ පසුගිය බදාදා (04) දින පැවති නව ක්‍රීඩාපිටිය විවෘත කිරීමේ උත්සවය සහ ත්‍යාග ප්‍රදානෝත්සවය සඳහා සහභාගී වීමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත ගොස් එම රෙජිමේන්තුවේ රෙජිමේන්තු මංගල වස්තුව වන නවවන කණ්ඩුල හස්ති පෝතකයා දැකබලාගත්තේය.
දෙහිවල ජාතික සත්වෝද්‍යානය සමඟ සාකච්ඡා කර එකඟතාවකට පැමිණ, මෙයට පෙර අවස්ථාවකදී මෙම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සිටි අටවන කණ්ඩුල හස්ති පෝතකයා තවදුරටත් රැකබලාගැනීම සඳහා එම සත්වෝද්‍යානය වෙත භාරදීමෙන් පසුව 2022 නොවැම්බර් මස 24 දින නවවන කණ්ඩුල හස්ති පෝතකයා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත රැගෙන එනු ලැබීය.
එම පරිශ්‍රයෙන් නික්ම යාමට ප්‍රථමයෙන් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් මෙම හස්ති පෝතකයා දැකබලාගැනීමෙන් අනතුරුව ඇත්ගොව්වා සමඟ සුහද පිළිසඳරක ද නිරත වන ලදී.
පින්නවල අලි අනාථාගාරය සහ වනජීවී දෙපාර්තමේන්තුව සමඟ සමීප සහයෝගයෙන් යුතුව ශ්‍රී ලංකා පාබල හමුදාව දෙහිවල ජාතික සත්වෝද්‍යානය සමඟ එකඟතාවකට පැමිණීමෙන් අනතුරුව පවතින නීති රීතිවලට අනුකූලව නව හස්ති පෝතකයෙකුගේ භාරකාරත්වය වරින් වර ලබාගැනේ. ජාතික හා හමුදා උත්සවයන්හිදී වර්ණ හා ඓතිහාසික ගෞරව එක් කිරීම සඳහා අදාළ හස්ති පෝතකයා යොදාගනු ලබන අතර, ගිවිසුමේ නියමයන් සහ කොන්දේසිවලට අනුකූලව පරිණත වූ හස්තිරාජයන් නැවත අදාළ බලධාරීන් වෙත භාරදෙනු ලැබේ.