Header

Sri Lanka Army

Defender of the Nation

05th January 2023 11:57:13 Hours

අන්තර් රෙජිමේන්තු ක්‍රීඩා ශූරතා තරඟාවලිය - 2022 දක්‍ෂතා දැක්වූ යුද්ධ හමුදා සාමාජිකයන් හට ත්‍යාග හා කුසලාන පිරිනැමේ

අන්තර් රෙජිමේන්තු ක්‍රීඩා ශූරතා තරඟාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය අද (4) දින සන්ධ්‍යාවේ පනාගොඩ යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වුණු අතර, එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සහභාගී විය.

රටෙහි පවතින ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගනිමින් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත යුද්ධ හමුදාව වෙතින් 2022 වසර පුරා පවත්වන ලද අන්තර් රෙජිමේන්තු ක්‍රීඩා තරඟාවලි 9 ක ජයග්‍රාහකයින් සඳහා සහතිකපත්‍ර සහ කුසලාන ප්‍රදානය කිරීම සඳහා ඒකාබද්ධ ත්‍යාග ප්‍රධානෝත්සවයක් සංවිධානය කරන ලදී. ඒ අනුව යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත 2023 වර්ෂයේ සිට ඉදිරියටත් එය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

මෙම ත්‍යාග ප්‍රධානෝත්සවයේදී, අන්තර් රෙජිමේන්තු පැසිපන්දු ශූරතාවලිය - 2022, අන්තර් රෙජිමේන්තු අත්පන්දු ශූරතාවලිය - 2022, අන්තර් රෙජිමේන්තු කබඩි ශූරතාවලිය - 2022, අන්තර් රෙජිමේන්තු හොකී ශූරතාවලිය - 2022, අන්තර් රෙජිමේන්තු ‘PACES’ ශූරතාවලිය - 2022, අන්තර් රෙජිමේන්තු ජූඩෝ ශූරතාවලිය - 2022, අන්තර් රෙජිමේන්තු හොකී ශූරතාවලිය - 2022, අන්තර් රෙජිමේන්තු බිලියඩ් සහ ස්නූකර් ශූරතාවලිය - 2022, අන්තර් රෙජිමේන්තු බර ඉසිලීමේ සහ සවි එසවීමේ ශූරතාවලිය - 2022, අන්තර් රෙජිමේන්තු මුයිතායි ශූරතාවලිය - 2022 සහ අන්තර් රෙජිමේන්තු ජූඩෝ ශූරතාවලිය - 2022 යන ශූරතාවලි 9 ක් නියෝජනය කරමින් තරඟවැදුණු ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත කුසලාන සහ සහතිකපත්‍ර ප්‍රදානය කරන ලදී.

පනාගොඩ ගෘහස්ථ ක්‍රීඩාංගණ පරිශ්‍රයේදී පැවති මෙම ත්‍යාග ප්‍රධානෝත්සවය සඳහා සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් සී.ඩී. වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබූහ.

උත්සව අවස්ථාවේ සමාරම්භය සනිටුහන් කරමින් දිවංගත රණවිරුවන් අනුස්මරණය කිරීම සඳහා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්වීමෙන් අනතුරුව, ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත සහතිකපත්‍ර සහ කුසලාන ප්‍රදානය කිරීම සිදුකරන ලදී.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සමඟින් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් සී.ඩී. වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහ ක්‍රීඩා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් කේ.ඒ.ඩබ්ලිව්.එන්.එච්. බණ්ඩාරනායක යූඑස්පී එක්ව ජයග්‍රාහක ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත කුසලාන සහ සහතිකපත්‍ර ප්‍රදානය කරනු ලැබූහ.

ජාත්‍යන්තර ක්‍රීඩා ඉසව් නියෝජනය කරමින් දස්කම් දක්වා යුද්ධ හමුදාව වෙත කීර්තියක් අත්කරදුන් යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 28 දෙනෙකු වෙනුවෙන් මෙම අවස්ථාවේදී යුද්ධ හමුදාධිපතිතුමන් සහ යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානිතුමන් එක්ව මූල්‍යමය චෙක්පත් ප්‍රදානය කරනු ලැබූහ.

මෙම අවස්ථාවේදී, යුද්ධ හමුදාධිපතිතුමන් රැස්ව සිටි පිරිස අමතමින්, යුද්ධ හමුදාව තුළ ක්‍රීඩාව තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ ඇති වැදගත්කම පිළිබඳ පැහැදිලි කරමින් අනාගතයේදී තවත් ජයග්‍රහණ ලබාගැනීම සඳහා තම ප්‍රියතම ක්‍රීඩා ඉසව් නියෝජනය කරමින් කුසලතා ප්‍රදර්ශනය කරන ලෙස යුද්ධ හමුදාවේ සියලුම ක්‍රීඩා ලෝලීන් වෙත ආරාධනා කරන ලදී.

ත්‍යාග ප්‍රදානෝත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් සමඟින් සමූහ ඡායාරූප ගනු ලැබු අතර, එම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් පිරිසක් ද සහභාගි වූහ.