Header

Sri Lanka Army

Defender of the Nation

03rd January 2023 20:02:36 Hours

‘සෙනෙහස’ අධ්‍යාපන සම්පත් පර්යේෂණ සහ තොරතුරු කේන්ද්‍රයෙහි උපදේශකවරුන් පිරිසක් යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

නාරාහේන්පිට මැනිං ටවුන් හි පිහිටි ‘සෙනෙහස’ අධ්‍යාපන සම්පත් පර්යේෂණ සහ තොරතුරු කේන්ද්‍රයෙහි උපදේශකවරුන් පිරිසක් බදාදා (3) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ හමුවිය.

මෙම අවස්ථාව සඳහා සෙනෙහස අධ්‍යාපන සම්පත් පර්යේෂණ සහ තොරතුරු කේන්ද්‍රයෙහි ප්‍රධාන අධීක්‍ෂණ නිලධාරිනි සහ රණවිරු සේවා අධිකාරියේ සහ උප සභාපතිනි සෝනියා කෝට්ටේගොඩ මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසට උපදේශක ළමා ස්නායු විශේෂඥ වෛද්‍ය සරාජි විජේසේකර, ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ආසිරි හේවාමාලාගේ සහ ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ වෛද්‍ය හර්ෂ දුලාරි විජේසේකර යන මහත්මීන් සහභාගී වූහ.

සෙනෙහස අධ්‍යාපන සම්පත් පර්යේෂණ සහ තොරතුරු කේන්ද්‍රය, ආරක්‍ෂක අමාත්‍යාංශය සමගින් රණවිරු සේවා අධිකාරිය විසින් කළමනාකරණය කරනු ලබන අතර, එමගින් ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියෙහි රාජකාරි කරනු ලබන සාමාජිකයන්ගේ පවුල්වල විශේෂ අවශ්‍යතා ඇති ළමුන් දරුවන් රැකබලා ගනිමින් ඔවුන්ගේ වැඩකටයුතු පහසු කිරීමට අවශ්‍ය තාක්‍ෂණික පුහුණුව ලබාදෙන පුහුණු මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කරයි.

යුද්ධ හමුදාධිපතිතුමන් සහ සෝනියා කෝට්ටේගොඩ මහත්මිය සමඟ පැවති සුහද හමුවේදී මෙම ළමා විශේෂ පුහුණු මධ්‍යස්ථානයේ ක්‍රියාකාරීත්වය, ආරම්භ කර ඇති ව්‍යාපෘති, පුහුණු වැඩසටහන්, ඉදිරි සැලසුම් සහ මෙම පුහුණු මධ්‍යස්ථානයේ ළමුන් සඳහා ඇති අනාගත අවශ්‍යතා පිළිබඳව යුද්ධ හමුදාධිපතිතුමන් දැනුවත් කරන ලද අතර, සෙනෙහස අධ්‍යාපන සම්පත් පර්යේෂණ සහ තොරතුරු කේන්ද්‍රය වෙත යුද්ධ හමුදාව විසින් නිරතුරුවම ලබාදෙන සහයෝගය වෙනුවෙන් පැමිණ සිටි පිරිස යුද්ධ හමුදාපතිතුමන් වෙත සිය කෘතඥතාවය පලකරන ලදී.

යුද්ධ හමුදාධිපතිතුමන් විසින් එහිදී, ත්‍රිවිධ හමුදා සාමාජිකයින් දිවයිනේ නොයෙක් ප්‍රදේශවල රාජකාරිවල නිරතව සිටින බැවින් එම පවුල් වල සිටින විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් සෙනෙහස අධ්‍යාපන සම්පත් පර්යේෂණ සහ තොරතුරු කේන්ද්‍රය සඳහා ලබාදෙන ක්‍ෂේත්‍රයේ විශේෂඥයින්ගේ අගනා සේවය වෙනුවෙන් සිය කෘතවේදීත්වය පිරිනමන ලදී. එහිදී ඉදිරියටත් මෙම ආයතනය සඳහා යුද්ධ හමුදාවේ උපරිම සහයෝගය නිරතුරුවම ලබාදෙන බවටත් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදි.

සුහද හමුව අවසානයේදී යුද්ධ හමුදාධිපතිතුමන් විසින් මෙම විශේෂ පුහුණු මධ්‍යස්ථානය විසින් සිදුකරනු ලබන මෙහෙවර ඇගයීමට ලක්කරමින් පැමිණි සිටි පිරිස වෙත සමරු තිළිණ ප්‍රදානය කිරීමක්ද සිදුකරන ලදී. මෙම අවස්ථාවට විධායක ජෙනරාල් මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ ද සහභාගී විය.