Header

Sri Lanka Army

Defender of the Nation

02nd January 2023 15:27:13 Hours

රාජ්‍ය සේවා ප්‍රතිඥාව සඳහා දිවුරුම්දීමෙන් අනතුරුව යුද්ධ හමුදා මූලස්ථානය 2023 නව වසර වෙනුවෙන් වැඩ කටයුතු අරඹයි

2023 වර්ෂයේ පළමු වැඩකරන දිනය සනිටුහන් කරමින් ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයේදී සඳුදා (02) දින උදෑසන පැවති කෙටි උත්සවයකදී ‘ජාතියේ ආරක්‍ෂකයින්’ වන යුද්ධ හමුදා සාමාජිකයන් ජාතික කොඩිය සහ යුද්ධ හමුදා කොඩිය එසවීම, රාජ්‍ය ප්‍රතිඥාව කියවීම, ජාතික ගීය සහ යුද්ධ හමුදා ගීතය ගායනා කිරීම සහ යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පණිවිඩය කියවීම සිදුකරනු ලැබීය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ පැමිණීමත් සමඟ උත්සවයේ සමාරම්භය සනිටුහන් කෙරිණි. ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සෙසුනිලයන්ගෙන් සැදුම්ලත් පෙළපාලිය අභිමුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සහ යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් චන්න වීරසූරිය පිළිවෙලින් ජාතික කොඩිය සහ යුද්ධ හමුදා කොඩිය ඔසවනු ලැබූහ.

මෙම අවස්ථාවට සහභාගී වූ සියලු නිලයන් විසින් ජාතික ගීතය සහ යුද්ධ හමුදා ගීතය ගායනා කාරීමෙන් අනතුරුව මානුෂීය මෙහෙයුමේදී දිවිපිදූ වීරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් ද පැවැත්වීය. ඉන් අනතුරුව, යුද්ධ හමුදා මූලස්ථානයේ විධායක ජෙනරාල් මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ මූලිකත්වයෙන් රාජ්‍ය ප්‍රතිඥාව කියවීම සිදුකෙරිණි.

රාජ්‍ය ප්‍රතිඥාව කියවීමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ යුද්ධ හමුදා සාමාජිකයන් ආමන්ත්‍රණය කරමින්, යුද්ධ හමුදා සාමාජිකයන් විසින් පසුගිය දශක කිහිපය තුළ විවිධ අභියෝගයන්ට මුහුණ දෙමින් ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීම වෙනුවෙන් කැපවීමෙන් සිදුකළ කාර්යභාරය පිළිබඳ මතකයන් ආවර්ජනය කළ අතර රටේ යහපත වෙනුවෙන් යුද්ධ හමුදාවට පැවරී ඇති නව වගකීම් හමුවේ ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳව ද පැහැදිළි කළේය. මෙහිදී තවදුරටත් අදහස් දැක් වූ යුද්ධ හමුදාධිපතිතුමන්;

ශ්‍රී ලංකාද්වීපයේ අභිමානවත් ආරක්‍ෂකයා වශයෙන් මාතෘ භූමියේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් සැමදා අනභිභවනීය මෙහෙවරක් ඉටුකරන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සියලුම නිලධාරින් හා සෙසුනිලයන්ටත්, සිවිල් සේවක මහත්ම මහත්මින්ටත් එම පවුල්වල සාමාජික සාමාජිකාවන්ටත් උදාවන 2023 නව වසර වෙනුවෙන් මාගේ හෘදයංගම සුබපැතුම් මින් පිරිනමමි.

වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ පවතින සාමකාමි වාතාවරණය උදාකිරීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ රණවිරුවන් සිදුකළ අතිවිශාල කැපකිරිම් මේ මොහොතේ සිහිපත් කිරීම අපගේ යුතුකමකි. එහිදී, තම ජිවිත පුජා කරමින් සටන්වැදි විරෝදාර රණවිරුවන් මෙන්ම දේශය වෙනුවෙන් රාජකාරියේ යෙදී සිටියදී ජීවිතක්‍ෂයට පත්වූ රණවිරුවන්ද මෙම අවස්ථාවේදි ගෞරවාභිමානයෙන් සිහිපත් කරමි. එසේම සංග්‍රාම භූමියේදී මෙන්ම වෙනත් රාජකාරින් ඉටුකරන අතරතුර රණක්‍ෂිතයට පත්වූ රණවිරුවන්ද ගෞරවාදරයෙන් සිහිපත් කරන අතර, ඔවුන් අතරින් තවදුරටත් ප්‍රතිකාර ලබන රණවිරුවන්ට ඉක්මන් සුවය ලැබේවායිද ප්‍රාර්ථනා කරමි.

අප මාතෘභුමිය මුහුණ දෙමින් සිටින ආර්ථික දුෂ්කරතාවයන් සහ අභියෝග මධ්‍යයේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අභිවෘද්ධිය හා ඉදිරි ප්‍රගමනය වෙනුවෙන් නිවැරදි දැක්මක් හා දූරදර්ශී නායකත්වයක් ලබාදෙන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති හා සන්නද්ධ සේවාවන්හි සේනාධිනායක අතිගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමන්හට මාගේ ප්‍රණාමය පිරිනමන අතර ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සියලු කටයුතු උදෙසා නිරන්තර සහයෝගය ලබාදෙන ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා, ආරක්‍ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී එන්ඩිසී පිඑස්සී එම්ෆිල් (විශ්‍රාමික) මැතිතුමා සහ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී විඑස්වී යුඑස්පී එන්ඩිසී පිඑස්සී එම්ෆිල් තුමන් සිහිපත් කිරිමටත් මම මෙය අවස්ථාවක් කර ගනිමි.

පසුගිය වසර තුළ ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීම, ආපදා තත්වයන්ට මුහුණ දීම, කොවිඩ් - 19 වසංගතය, ජාතිය ගොඩනැංවිම හා සංවර්ධන ව්‍යාපෘති ආදි ක්‍ෂේත්‍ර ගණනාවක් තුළ පෙර නියමුවන් ලෙස යුද්ධ හමුදාව සිදුකළා වු අනභිභවනීය කාර්යභාර්ය පිලිබඳව අප නිරන්තරයෙන් ආඩම්බර විය යුතුයි. එලෙසම තවදුරටත් ජාතික ආරක්‍ෂාවට බලපාන තර්ජන හා විවිධ ව්‍යසනකාරි අවස්ථාවන්හිදී අවශ්‍ය ආරක්‍ෂක ක්‍රියාදාමයන් නොපිරිහෙලා ඉටුකිරිම යුද්ධ හමුදා සාමාජිකයින් වන අප සැමගේ පරම වගකීම වේ. මේ සඳහා අත්‍යාවශ්‍ය සාධකයන් වන මනා පුහුණුව පවත්වාගෙන යාම සහ නිවැරදි ක්‍රියාන්විත පුරෝකථනයන් සිදු කිරීම පිළිබඳව සියලු තරාතිරම්වල නායකයන් අවධානය යොමු කළ යුතුය.

විශේෂයෙන්ම පසුගිය කාලයේදී රට තුළ උද්ගත වූ ව්‍යාකූල තත්වය හමුවේ රටේ සාමාන්‍ය ජනජීවිතය යථාතත්වයට පත්කිරීම සඳහාත් රටේ සමස්ත ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහාත් හමුදා සාමාජිකයින් දැක්වූ දායකත්වය තුළින් යුද්ධ හමුදාවේ උසස් විනයගරුකභාවය, කාර්යක්‍ෂම හා ආදර්ශමත් සැලසුම් සහගත ක්‍රියාකාරකම් මැනවින් පිළිඹිබු විය. එහිදී ඔබ කෙරෙන් විද්‍යාමාන වූ උසස් විනය එළඹෙන වසරේදීත් ඉන් ඉදිරියටත් මනාව පවත්වාගෙන යාමට අවධානය යොමු කළ යුතුය. විශේෂයෙන් වර්තමානයේ සමස්ත රටම විවිධ අභියෝගයන්ට මුහුණදෙමින් සිටියදී එම සියලු දුෂ්කරතාවන් හා අපහසුතා නිහඬව දරාගනිමින් හමුදා සෙබලෙකු ලෙස ඔබ විදහාපාන පක්‍ෂපාතීත්වය, වෘත්තීමයභාවය හා අපරිමිත කැපකිරිම වෙනුවෙන් මාගේ අවංක ස්තූතිය මේ අවස්ථාවේ පුද කරමි.

ශ්‍රී ලංකාද්වීපයේ ස්වෛරීත්වය හා භෞමික අඛණ්ඩතාවය ආරක්‍ෂා කිරිමත්, උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්‍ෂා කරමින් රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය සුරක්‍ෂිත කිරීම මගින් ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීමත්, යුද්ධ හමුදා සාමාජිකයින් වන අපගේ ප්‍රමුඛතම කාර්යභාරය වේ. මෙම මූලික වගකීම හැරුණවිට අප විසින් නිරන්තරයෙන් සපුරාලන ද්වීතීය කාර්යභාරයන් එලඹෙන නව වසරේදීත් කාර්යක්‍ෂමව ඉටුකිරීමට අප වගබලාගත යුතුවේ. තවද රටේ ආර්ථික, සාමාජීය හා සංස්කෘතික වශයෙන් අපේක්‍ෂිත සංවර්ධන ඉලක්ක සහ සාමය හා සංහිදියාව සුරක්‍ෂිත කිරීමේ පෙරගමන්කරුවන් වශයෙන් ඊට සෘජු දායකත්වයක් ලබාදෙමින් ක්‍රියාකිරීම අපගේ මූලික යුතුකමකි. එමෙන්ම වර්තමානයේදි රටේ උද්ගත වී ඇති ආර්ථික දුෂ්කරතාවන්ගෙන් මිදීම සඳහා මේ වනවිටත් කෘෂිකර්මාන්තය නඟාසිටුවීම හා ආහාර සුරක්‍ෂිත කිරිමේ වැඩපිළිවෙල සඳහා යුද්ධ හමුදාවෙන් ලබාදෙන දායකත්වය වඩාත් සංවිධානාත්මකව හා කාර්යක්‍ෂමව ලබාදීම සඳහා අප පෙළගැසිය යුතුවේ. රටට ආර්ථික ස්ථාවරත්වයක් අවශ්‍ය මෙම මොහොතේ එම කාලීන අවශ්‍යතාවය ලගා කරගැනිමට උපරිමව කැපවෙමින් මනා කාර්යක්‍ෂමතාවෙන් යුතුව, ප්‍රශස්ත සම්පත් කළමනාකරණය පිළිබඳව ජාතියට ආදර්ශයක් සැපයීමට එලඹෙන නව වසරේදී අප පෙරමුණ ගත යුතුය.

යුද්ධ හමුදාවේ සංග්‍රාම ශක්තිය, ක්‍රියාන්විත සැළසුම් සහ සංවිධාන ව්‍යුහය අනාගත අභියෝගයන්ට ගැලපෙන ලෙස යාවත්කාලින කිරීමේ අවශ්‍යතාව අනුව වඩාත් නවීන සංකල්ප මත පදනම්ව යුද්ධ හමුදාව මෙහෙයවීම මාගේ ප්‍රමුඛ අරමුණක් බව, 2023 වසර එලඹෙන මේ මොහොතේ ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. එමෙන්ම, පසුගිය වසර තුළ අප ආරම්භ කල සියලුම ආකාරයේ ව්‍යාපෘති වල ප්‍රතිඵල සහ අරමුණු, අප බලාපොරොත්තු වු කාල පරාසයන් හිදි සාක්‍ෂාත් කරගැනිම පිලිබදව අප සියලුදෙනා මෙම වසරේදි පුර්ණ අවධානය යොමුකල යුතු බව මම මේ අවස්ථාවේ සිහිපත් කර සිටිමි. රටේ වත්මන් සමාජය අභියෝගාත්මක බලපෑම් වලට මුහුණදෙන මෙම වකවානුවේදී යුද්ධ හමුදාවේ රණවිරුවන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන්ගේ ගැටලු පිළිබඳව වඩාත් වැඩි සැළකිල්ලක් දක්වමින් හැකි සෑම අයුරකින්ම ඔවුන් හට ප්‍රායෝගික විසදුම් ලබා දෙමින් එලඹෙන වසරේදී ඔවුන්ගේ සුබසාධනය තහවුරු කරන ලෙස සෑම තරාතිරකම ආයතන ප්‍රධානීන් හට මා අවධාරණය කරන අතර, ඔබේ සංවිධාන ව්‍යුහය තුළ අපේක්ෂිත පිළිතුරු ලබාදිමට නොහැකි අවස්ථාවන්හි එම ගැටලු මා වෙත යොමු කරනු ඇතැයි බලාපොරොත්තු වෙමි. විශේෂයෙන්ම යුද්ධ හමුදාවේ අභිමානය හා කාර්යක්‍ෂමතාවය පවත්වාගෙන යාම සඳහා මෙම කරුණු වැදගත් බව මෙහිදී සිහිපත් කරමි.

යුද්ධ හමුදා ක්‍රීඩකයින් විසින් පසුගිය වසර තුළ ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා ජයග්‍රහණ රාශියක් හිමිකරගනිමින් යුද්ධ හමුදාවේ කීර්තිය ඉහල නැංවිමට කටයුතු කළ අතර, එම දක්‍ෂතා ඔප්නංවා ගනිමින් ක්‍රිඩා ක්‍ෂේත්‍රයේ අභිවෘද්ධිය පිණිස ඉදිරියටත් කටයුතු කිරීමත් වැදගත් වේ. පසුගිය වසර තුළ යුද්ධ හමුදාවේ සක්‍රිය සේවයේ නියුතු ඔබගේත්, විශ්‍රාමික රණවිරුවන් හා රණවිරු පවුල්වල සමාජිකයින්ගෙත් අභිවෘද්ධිය වෙනුවෙන් සුබසාධක සේවාවන් රැසක් ඉටුකිරිමට හැකි විම පිලිබඳව සතුටු වන අතර එම සුබසාධක වැඩසටහන් තවදුරටත් පවත්වාගෙන යාම මාගේ අරමුණයි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සියලුම ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරින්, සියලුම සෙසුනිලයන් හා සිවිල් සේවක කාර්ය මණ්ඩලයේ උපරිම කැපවිම හා දායකත්වය මත යුද්ධ හමුදාව මේ වන විට ලබා තිබෙන සාර්ථකත්වය ඉදිරි වසරේදීත් තවදුරටත් තීව්‍ර කර ගැනීම උදෙසා ක්‍රියා කරනු ඇතැයි අපෙක්‍ෂා කරමි. රටෙහි අනාගත බලාපොරොත්තු සහ ඉලක්ක සාර්ථක කර ගැනීම සඳහා වීරෝදාර යුද්ධ හමුදාවක් වශයෙන් අපවෙත පැවරෙන සෑම රාජකාරියක්ම උපරිම දායකත්වයකින්, කැපවීමකින් හා සමගි සම්පන්නව ඉටුකරන ලෙස ඔබ සැමගෙන් ඉල්ලා සිටිමි. මේ වන විට යුද්ධ හමුදාවක් වශයෙන් ගොඩනැගී ඇති ජාතික හා ජාත්‍යන්තර ගෞරවය, කීර්තිය හා ප්‍රතිරූපය තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා නව වසරේ ඔබ සියලු දෙනාම කටයුතු කරනු ඇතැයි මම විශ්වාස කරමි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙනුවෙන් අපරිමිත මෙහෙයක් ඉටු කරන යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමිය ඇතුලු සියලුම සේවා වනිතාවන්ට මාගේ හදපිරි ස්තුතිය ප්‍රකාශ කිරිමටත් මෙය අවස්ථාවක් කර ගන්නා අතර, එලඹෙන නව වසරේ ඔබගේ සියලු ව්‍යාපෘති, සැළසුම් සහ වැඩසටහන් සාර්ථක වේවා යැයි ප්‍රාර්ථනා කරමි.

අප සැවොම එක්වී අපේ උදාර මාතෘභූමිය සුරක්‍ෂිත කිරීමටත්, ශක්තිමත් කිරීමටත් දිවි හිමියෙන් කැපවෙමු.

අවසන් වශයෙන්, රටේත් එහි වාසය කරන ජනතාවගේත් ආරක්‍ෂාව තහවුරු කරමින් සේවයේ යෙදී සිටින රණවිරු ඔබ සැමටත්, විශ්‍රාමික සැමටත්, සිවිල් සේවක මහත්ම මහත්මීන්ටත්, ඔබ පවුල්වල සියලුුම සාමාජික සාමාජිකාවන්ටත්, ලැබුවා වූ 2023 වර්ෂයේ තම අරමුණු ඒ ආකාරයෙන්ම සාර්ථක කරගැනිම සඳහා අවශ්‍ය ශක්තිය, ධෛර්ය හා වාසනාව උදාවේවායි ද ඔබ සැමට සාමය, සතුට, සෞභාග්‍ය හා නිරෝගීමත්භාවය සපිරි සුබ නව වසරක් වේවා ද ප්‍රාර්ථනා කරමි.

මෙම උත්සවය සමාප්තියේ යුද්ධ හමුදා මූලස්ථානයේ සේවයේ නියුතු සිවිල් සේවක කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් වෙත අලුත් අවුරුදු දිරිගැන්වීම් ලෙස විශේෂ තිළිණයන් ද යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් ප්‍රදානය කරනු ලැබිණි.