Header

Sri Lanka Army

Defender of the Nation

28th December 2022 18:09:15 Hours

මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිභාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ ආඥාපති 4 වන සංග්‍රාමික රථ ආරක්‍ෂක කණ්ඩයේ සංචාරයක

රාජකාරි කටයුතු නිමවීමෙන් පසු දිවයිනට පැමිණීමට නියමිත මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිභාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන් සඳහා යොදවා ඇති 4 වන සංග්‍රාමික රථ ආරක්‍ෂක කණ්ඩය වෙත සුබපැතුම් එක්කිරීම සඳහා මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිභාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ (MINUSMA) ආඥාපති ලුතිනන් ජෙනරල් සී.ජේ. කීස් මත්තිසේන් (Lieutenant General C.J. Kees Matthijssen) පසුගිය අඟහරුවාදා (27) දින එම මූලස්ථානයේ සංචාරයක නිරත විය.

මාලි රාජ්‍යයේ, ගාඕ ප්‍රදේශයේ පිහිටි 4 වන සංග්‍රාමික රථ ආරක්‍ෂක කණ්ඩයේ අණදෙන නිලධාරී කර්නල් චන්දන ජයමහ විසින් සංචාරයේ නිරත ආඥාපතිතුමන් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව එතුමන් වෙත 4 වන සංග්‍රාමික රථ ආරක්‍ෂක කණ්ඩයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් හඳුන්වාදෙන ලදී.

මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිභාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ ආඥාපති ලුතිනන් ජෙනරල් සී.ජේ. කීස් මත්තිසේන් විසින් භටපිරිස් අමතමින්, පසුගිය මාස පහක සේවා කාලසීමාව තුළ කිඩාල් (Kidal), ඇගුල්හොක් (Aguelhoc) සහ ටෙසාලීට් (Tessalit) ප්‍රදේශයන්හී පිහිටි මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිභාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථාන කඳවුරුවල සන්නද්ධ රථ මෙහෙයුම් සිදුකරනු ලබන එකම කණ්ඩායම ලෙස වෘත්තීමය වශයෙන් දැක්වූ කැපවීම ඇගයීමට ලක්කළේය. “ජීවිත අවදානම්, අයහපත් කාලගුණික තත්ත්වයන් සහ අවධානම් සහගත භූමි ප්‍රදේශයන්හී ඉන්ධන බවුසර් 154 කට සහ භාණ්ඩ ප්‍රවාහන ට්‍රක් රථ 115 කට ආරක්‍ෂාව සපයමින් කිලෝමීටර් 5346 කට අධික කලාපයක් තුළ මෙහෙයුම් දියත් කිරීම සඳහා අවශ්‍ය භඨකාර්ය සම්පාදන රථ සඳහා ඔබ ආරක්‍ෂාව සපයා ඇත.” යනුවෙන් එතුමන් විසින් වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

මෙම කඳවුරු පරිශ්‍රයෙන් නික්ම යාමට ප්‍රථම, ලුතිනන් ජෙනරල් සී.ජේ. කීස් මත්තිසේන් විසින් කර්නල් චන්දන ජයමහ සහ 4 වන සංග්‍රාමික රථ ආරක්‍ෂක කණ්ඩයේ අනෙකුත් සාමාජිකයන් වෙත ‘හමුදාධිපති ප්‍රශංසා’ සහතිකපත්‍ර ප්‍රදානය කරනු ලැබීය.