Header

Sri Lanka Army

Defender of the Nation

27th December 2022 23:00:17 Hours

ජාතික වෘත්තීය සුදුසුකම් ලත් යුද්ධ හමුදා සාමාජිකයින් වෙත සහතිකපත්‍ර සහ ඔවුන්ගේ දරුවන් වෙත ශිෂ්‍යත්ව ප්‍රදානය කරයි

රණවිරු සම්පත් කේන්ද්‍රය මගින් පවත්වනු ලැබූ තාක්‍ෂණික පාඨමාලාවන් හැදෑරීමෙන් අනතුරුව ජාත්‍යන්තරව පිළිගත් ජාතික වෘත්තීය සුදුසුකම් 4 සහ 3 මට්ටම සඳහා සුදුසුකම් ලැබූ යුද්ධ හමුදා සාමාජිකයින් 30 දෙනෙකු සඳහා සහතිකපත්‍ර ප්‍රදානය කිරීමේ වැඩසටහන අඟහරුවාදා (27) දින පස්වරුවේ යුද්ධ හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.

උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සහභාගී වූ අතර, එහිදී යුද්ධ හමුදා පවුල්වල අධ්‍යාපනය ලබන දරු දැරියන් වෙත ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමක්ද සිදු විය.

උත්සව පරිශ්‍රය වෙත සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් එස්.සී ඒකනායක ආර්එස්පී සහ සුබසාධන අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ආර්.පී.ඒ.ආර්.පී රාජපක්‍ෂ ආර්එස්පී විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබූහ.

උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් යුද්ධ හමුදාව විසින් හේකිත්ත ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති රණවිරු සම්පත් කේන්ද්‍රය මගින් පවත්වනු ලබන භූමි අලංකරණ තාක්‍ෂණ ශිල්පී පාඨමාලාව, ජංගම දුරකථන අළුත්වැඩියා පාඨමාලාව, වඩු කාර්මික ශීල්පී (ගොඩනැගිලි) පාඨමාලාව, පරිගණක යෙදුම් සහකාර පාඨමාලාව, ඉලෙක්ට්‍රොනික උපකරණ කාර්මික පාඨමාලාව, පරිගණක දෘඪාංග පාඨමාලාව, රූපලාවන්‍ය පාඨමාලාව සහ ත්‍රිරෝද රථ සහ යතුරුපැදි අලුත්වැඩියා පාඨමාලාව ඇතුළු විවිධ පාඨමාලාවන් පිළිබඳව විස්තර ඇතුලත්ව මෙම ආයතනයේ ක්‍රියාකාරකම් පිළිබඳව සැකසුනු වීඩියෝ පටයක් ඉදිරිපත් කරන ලදී.

මෙම උත්සව අවස්ථාව සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් සී.ඩී වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එස්ඩීයූ සහ තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය කේ.ඒ ලලිතදීර මහතාද එක්ව සිටියහ. එහිදී පිළිගත් තාක්‍ෂණික ප්‍රමිතීන්ට ගැලපෙන පරිදි ජාතික වෘත්තීය සුදුසුකම් 4 සහ 3 මට්ටම සඳහා සුදුසුකම් ලැබූ යුද්ධ හමුදා සාමාජිකයින් 30 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම වෙත සහතිකපත් ප්‍රදානය කිරීම සිදුකරන ලදී.

සේවයේ යෙදී සිටින විවිධ හැකියාවන්ගෙන් යුත් යුද්ධ හමුදා සාමාජිකයින් සඳහාත්, ත්‍රිවිධ හමුදාවේ විශ්‍රාම යාමට අපේක්‍ෂිත සමාජිකයින්ට තාක්‍ෂණික වශයෙන් අවශ්‍ය වෘත්තීය සුදුසුකම් තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහාත්, විශ්‍රාමික යුද්ධ හමුදා, නාවික හමුදා සහ ගුවන් හමුදා, පොලිස් සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු සඳහා සුදුසුකම් ලැබීමට අපේක්‍ෂා කරන අයවළුන් සඳහා රණවිරු සම්පත් කේන්ද්‍රය වර්ෂ 2013 දී ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය සමග එක්ව ස්ථාපිත කරන ලදී.

රණවිරු සම්පත් කේන්ද්‍රය මගින් න්‍යායික සහ ප්‍රායෝගික යන දෙඅංශම ආවරණය වන පරිදි වෘත්තීය පුහුණු අධිකාරියෙහි සුදුසුකම් ලත් උපදේශකයින් විසින් අදාල දේශනයන් පවත්වනු ලබන අතර, සුදුසුකම් ලැබීමේ සියලුම විභාග සහ ඇගයීම් කටයුතු අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් පවත්වනු ලබයි.

වර්ෂ 2013 වසරේ සිට මේ දක්වා ත්‍රිවිධ හමුදාවේ, ශ්‍රී ලංකා පොලිසියේ සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ සෙසු නිලයින් 1963 එම පාඨමාලාවන් සාර්ථකව හදාරා ඇති අතර, ඔවුන් ජාතික වෘත්තීය සුදුසුකම් 4 සහ 3 මට්ටමේ සුදුසුකම් ලබාගනිමින් විදේශ අධ්‍යපන කටයුතු සඳහා පවා පහසුකම් ලබාගනී.

මෙම වැඩසටහනට සමගාමීව, ජාතික වෘත්තීය සුදුසුකම් ලැබූ යුද්ධ හමුදා සාමාජිකයන්ගේ පවුල්වල දරුවන් වෙත විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන කටයුතු සාර්ථකව ඉදිරියට කරගෙන යාමට ආධාර කිරීමේ අරමුණින් පසුගියදා පැවති උසස් පෙළ විභාගයෙන් දක්‍ෂතා දැක්වූ එම යුද්ධ හමුදා සාමාජිකයන්ගේ දරුවන් වෙත ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමද යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදා සුභසාධක අධ්‍යක්‍ෂ මණ්ඩල විසින් සිදුකරන ලදී. ඒ සඳහා මූල්‍යමය අනුග්‍රාහකත්වය ‘රාජ්‍ය උකස් හා ආයෝජන’ බැංකුව, ‘Dialog Axiata’ පුද්ගලික සමාගම සහ යුද්ධ හමුදා සුභසාධන අධ්‍යක්‍ෂ මණ්ඩලය එක්ව ලබා දෙන ලදී.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් සී.ඩී වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එස්ඩීයූ සමඟින් එහිදී වසරක කාලයක් සඳහා රු. 120,000.00 ක වටිනාකමකින් යුත් මූල්‍යමය ශිෂ්‍යත්ව 8 ක් ප්‍රදානය කරන ලදී. මීට අමතරව, එම වැඩසටහන අතරතුරදී ‘Dialog Axiata’ පුද්ගලික සමාගමේ මූල්‍යමය අනුග්‍රාහකත්වය මත අන්තර් ජාලය මගින් අධ්‍යාපන කටයුතු සිදුකල හැකි ස්මාර්ට් ජංගම දුරකථන කීපයක් ප්‍රදානය කිරීමද සිදු විය. ඒ සඳහා සිසුන් 23 දෙනෙකු තෝරාගෙන ඇති අතර, එහිදී සංකේතාත්මකව සිසුන් 5 දෙනෙකු වෙත එම ස්මාර්ට් ජංගම දුරකථන පිරිනැමිණි.

උත්සවයේ කටයුතු අවසන් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය කේ.ඒ.ලලිතදීර, ශ්‍රී ලංකාවේ සහ රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ ණය අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එල්.අයි රණසිංහ යන මහත්වරුන් වෙත ඇගයීම් සමරු තිළිණ ප්‍රදානය කරන ලදී.

මෙහිදී රණවිරු සම්පත් කේන්ද්‍රය වෙත නිරන්තරයෙන් ලබා දෙන මගපෙන්වීම අගයමින් රණවිරු සම්පත් කේන්ද්‍රයේ සේනාවිධායක බ්‍රිගේඩියර් ඩී.සී.සී.සී.ආර් වෛද්‍යසේකර ආර්එස්පී විසින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙතද සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.

උත්සව අවස්ථාව සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයන් ප්‍රතිලාභීන්, ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සහ රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ නියෝජිතයින් ද සහභාගී වූහ.