Header

Sri Lanka Army

Defender of the Nation

26th December 2022 13:34:31 Hours

65 වන සේනාංකයේ මූලිකත්වයෙන් දමිළ සිසු සිසුවියන් වෙත සිංහල සාහිත්‍ය කෘති පරිත්‍යාගයක්

සංහිඳියාව සහ සහජීවනය ප්‍රවර්ධනය කරමින් දමිළ මාධ්‍ය සිසු සිසුවියන් අතර සිංහල සාහිත්‍ය කෘති ප්‍රචලිත කිරීමේ වැඩසටහනේ 2 වන අදියර යටතේ 65 වන සේනාංකයේ භටපිරිස් විසින් මාන්තෙයි සහ තුනුක්කායි ප්‍රදේශයන්හී වෙසෙන දමිළ මාධ්‍ය සිසු සිසුවියන් අතර එම සාහිත්‍ය කෘතීන්හි දමිළ භාෂා පරිවර්ථනයන් සිය ගණනක් බෙදාදීමේ සමාජ සත්කාරක වැඩසටහනක් ඉකුත් බදාදා (21) දින දමිළ මාධ්‍ය පාසල් හතරක සිසු සිසුවියන් අතර සිදුවිය.

මාන්තෙයි වෙල්ලන්කුලම් රජයේ දමිළ මිශ්‍ර පාසල් පරිශ්‍රයේදී පැවති මෙම පරිත්‍යාග වැඩසටහනේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රසාද් එදිරිසිංහ සහභාගී වූ අතර, එතුමන් විසින් පාසල් සිසු සිසුවියන් අතර බෙදාදීම සඳහා අවශ්‍ය පොත් කට්ටල එම පාසලේ විදුහල්පතිතුමන් වෙත පරිත්‍යාග කරන ලදී. මෙම සාහිත්‍ය කෘති කීර්තිමත් ගද්‍ය සහ පද්‍ය නවකතා රචකයෙකු වන ආචාර්ය මාර්ටින් වික්‍රමසිංහ විසින් රචනා කරන ලද කෘතීන් වේ.

ඉකුත් මස මෙම ප්‍රදේශයේ සිසු සිසුවියන්ගේ දැනුම වර්ධනය කිරීමේ අරමුණින් පොත් බෙදාදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන ලද අතර, එම ව්‍යාපෘතියේ දෙවන අදියර ලෙස මෙම වැඩසටහන ඉකුත් බදාදා (21) දින ආරම්භ කරනු ලැබීය. පාසල් බලධාරීන්ගෙන් ලද යහපත් ප්‍රතිචාර හේතුවෙන් 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රසාද් එදිරිසිංහ විසින් මෙම වැඩසටහනේ දෙවන අදියර ආරම්භ කරන ලදී. කලණ වාකිෂ්ඨ මහතාගේ අනුග්‍රාහකත්වය මත 651 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් වසන්ත බණ්ඩාර විසින් මෙම සමාජ සත්කාරක වැඩසටහනේ සම්බන්ධීකරණ කටයුතු සිදුකරනු ලැබීය.

මෙම සමාජ සත්කාරක වැඩසටහන යටතේ මාන්තෙයි සහ තුනුක්කායි ප්‍රදේශයන්හී පිහිටි කනේෂපුරම් ප්‍රාථමික විද්‍යාලය, වෙල්ලන්කුලම් රජයේ දමිළ මිශ්‍ර පාසල, මල්ලාවි ජාතික පාසල, තරන්කන්ඩාල් මහා විද්‍යාලය, මාන්තෙයි බටහිර සහ තේවම්පිඩ්ඩි රෝමානු කතෝලික රජයේ දමිළ මිශ්‍ර පාසලේ සිසු සිසුවියන්ට ප්‍රථම වරට සිංහල සාහිත්‍ය කෘති පරිහරණය කිරීමේ අවස්ථාව උදාවිය.

මෙම උත්සවය සඳහා විදුහල්පතිවරුන්, ගුරු භවතුන්, නිලධාරින්, දෙමාපියන් සහ සිසු සිසුවියන් ද සහභාගී වූහ.