Header

Sri Lanka Army

Defender of the Nation

24th December 2022 21:30:43 Hours

කමාන්ඩෝ රෙජිමේන්තුවේ නව රෙජිමේන්තු අධිපතිතුමන් රාජකාරි අරඹයි

කමාන්ඩෝ රෙජිමේන්තුවේ නව රෙජිමේන්තු අධිපති ලෙස මේජර් ජෙනරල් ශානක රත්නායක පසුගිය බ්‍රහස්පතින්දා (22) දින ගනේමුල්ල ප්‍රදේශයේ පිහිටි කමාන්ඩෝ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පැවති කෙටි උත්සවයකදී සිය ධූරයේ රාජකාරි කටයතු භාරගත්තේය.

රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් ශානක රත්නායක වෙත කමාන්ඩෝ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව එම රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් කමල් ධර්මවර්ධන විසින් එතුමන් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. පසුව, කමාන්ඩෝ රෙජිමේන්තු සරඹ භූමියේදී එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන පෙළපාලියේ ගෞරවාචාරය ද පුදකළහ. ඉන් අනතුරුව, සේවයේ නියුතු, විශ්‍රාමික හා කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 32 හි නිලධාරින් සමඟ එක්ව සමූහ ඡායාරූප කිහිපයකට ද එතුමන් පෙනී සිටියේය.

උත්සවය සමාරම්භයේදී මේජර් ජෙනරල් ශානක රත්නායක රණවිරු ස්මාරකය අභියසදී එම රෙජිමේන්තුවේ රට වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන් වෙත සිය පුෂ්පෝපහාර පුදකළේය. ඉන් අනතුරුව, මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් මේජර් ජෙනරල් ශානක රත්නායක නව ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය. පසුව පැවති තේ පැන් සංග්‍රහයෙන් අනතුරුව එතුමන් රෙජිමේන්තුවේ භටපිරිස්ද ඇමතුවේය.

මීට ප්‍රථම මෙම ධූරයෙ හෙබවූ මේජර් ජෙනරල් ක්‍රිෂාන්ත ඥාණරත්න විශ්‍රාම ගැනීමෙන් අනතුරුව මේජර් ජෙනරල් ශානක රත්නායක මෙම ධූරය සඳහා තේරීපත්විය.