23rd December 2022 20:39:01 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ 50 වන සේනාවිධායක ලෙස මේජර් ජෙනරල් සංජය වනසිංහ පසුගිය බ්‍රහස්පතින්දා (22) දින කොස්ගම, සීතාවක ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනා මූලස්ථාන පරිශ්‍රයේදී බෞද්ධ ආගමික වතාවත් සහ යුද්ධ හමුදා සම්ප්‍රදායන් මධ්‍යයේ රාජකාරි භාරගත්තේය.
මෙම අවස්ථාවට සපැමිණි මේජර් ජෙනරල් සංජය වනසිංහ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් තුසිත සිල්වා සහ ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් එච්.ඒ. කීර්තිරත්න විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබූහ. මෙම උත්සවයේ සමාරම්භය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් විසින් මේජර් ජෙනරල් සංජය වනසිංහ වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකළහ.
අනතුරුව, මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ මේජර් ජෙනරල් සංජය වනසිංහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක ලෙස සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය.
අනතුරුව, මෙම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ අඹ පැළයක් රෝපණය කළ මේජර් ජෙනරල් සංජය වනසිංහ එම මූලස්ථානයේ නිලධාරින් සහ සෙසුනිලයන් සමඟ එක්ව සියලු නිල තේ පැන් සංග්‍රහයකට ද එක්විය. මෙම උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් නව සේනාවිධායකතුමන් හමුදා සම්ප්‍රදායානුකූලව භටපිරිස් ඇමතීය.
මීට ප්‍රථම මෙම ධූරයේ රාජකාරි හෙබවූ මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ධූරයට පත්වීමෙන් අනතුරුව මේජර් ජෙනරල් සංජය වනසිංහ මෙම ධූරය සඳහා පත්කෙරිණි.
ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ බලකාධිපති ධූරය ද හොබවනු ලබන මේජර් ජෙනරල් සංජය වනසිංහ විසින් මීට ප්‍රථම ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් ධූරයේ රාජකාරි කටයුතු හොබවන ලදී.