Header

Sri Lanka Army

Defender of the Nation

21st December 2022 19:08:25 Hours

622 වන බලසේනාවේ සම්බන්ධීකරණය මත පාසල් සිසු සිසුවියන්ට අභ්‍යාස පොත් පරිත්‍යාගයක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 62 වන සේනාංකයට අයත් 622 වන බලසේනාවේ භටපිරිස් කොළඹ රාජකීය විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථීන්ගේ සංගමයේ අනුග්‍රාහකත්වය මත පලුගස්වංගුව ජාතික පාසල, යාය 11/12 සමන්පුර මහා විද්‍යාලය, යාය 10 තිස්සපුර මහා විද්‍යාලය, ඇහැටුගස්වැව මහා විද්‍යාලය සහ කිරිඉබ්බන්වැව විද්‍යාලයේ ඉගෙනුම ලබන ආර්ථික අපහසුතාවයන්ගෙන් පෙළෙන සිසු සිසුවියන් 400 දෙනෙකු වෙනුවෙන් පාසල් අභ්‍යාස පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් දෙසැම්බර් මස 19, 20 දෙදින තුළ පලුගස්වංගුව ජාතික පාසල් පරිශ්‍රයේදී පවත්වනු ලැබීය.

62 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජනක රණසිංහ ගේ උපදෙස් හා 622 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඉනොජ් හේරත් ගේ අධීක්‍ෂණය මත මෙම සමාජ සත්කාරක වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබිණි.

9 වන ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ආර්.ඩබ්ලිව්.ජී.එස්. මුණසිංහ ගේ සම්බන්ධීකරණය මත ක්‍රියාත්මක කරනු ලැබූ මෙම වැඩසටහනේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 62 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන් සහභාගී විය.

ප්‍රසාද් ලොකුබාලසූරිය මහතා ඇතුළු කණ්ඩායම වෙතින් ක්‍රියාත්මක කරනු ලබන ‘අත - හිත’ වැඩසටහනේ 7 වන අදියර යටතේ කොළඹ රාජකීය විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමයේ සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථීන්ගේ සංගමය එක්ව මෙම පරිත්‍යාග වැඩසටහන සංවිධානය කරන ලදී.