Header

Sri Lanka Army

Defender of the Nation

21st December 2022 11:28:38 Hours

යුද්ධ හමුදා නත්තල් කැරොල් ගී ප්‍රසංගය අති උත්කර්ෂවත් අන්දමින් නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වෙයි

අසිරිමත් නත්තල සහ අලුත් අවුරුදු උදාව සනිටුහන් කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙතින් පවත්වනු ලබන යුද්ධ හමුදා වාර්ෂික නත්තල් කැරොල් ගී ප්‍රසංගය අඟහරුවාදා (20) දින පස්වරුවේ නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්විණි.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ සහ යුද්ධ හමුදා ක්‍රිස්තියානි සංගමයේ ආරාධනයකට අනුව මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) සහභාගී විය.

‘සාමයේ කුමරා’ වන ජේසුස් වහන්සේගේ උපත සනිටුහන් කරමින් පැවැත්වූ මෙම උත්සවයේදී සිංහල, දමිළ සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම ගීතිකා ගායනා කරනු ලැබීය. එම ගීතිකා තුලින් සියලු ලෝකවාසීන් වෙත සාමය සහ සමෘද්ධිය යාච්ඥා කරනු ලබයි.

මෙම නත්තල් කැරොල් ගී ප්‍රසංගය සඳහා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ, පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් රන්ජන් ළමාහේවගේ (විශ්‍රාමික), යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් සී.ඩී. වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ඩී.ජී.එස්. සෙනරත් යාපා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, හිටපු ත්‍රිවිධ හමුදාධිපතිවරුන් ඇතුළු තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් සහභාගී වූහ.

එමෙන්ම, ආරක්‍ෂක ලේකම්තුමන්ගේ භාර්යාව චිත්‍රානි ගුණරත්න මහත්මිය, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානිගේ භාර්යාව සුජීවා නෙල්සන් මහත්මිය, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මිය, නාවික හමුදාධිපතිතුමන්ගේ භාර්යාව මාලා පෙරේරා මහත්මිය, ගුවන් හමුදාධිපතිතුමන්ගේ භාර්යාව චාමිණී පතිරණ මහත්මිය, පොලිස්පතිතුමන්ගේ භාර්යාව එස්. වික්‍රමරත්න මහත්මිය සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල්ගේ භාර්යාව උපේන්ද්‍රා ළමාහේවගේ මහත්මිය ඇතුළු තවත් සම්භාවනීය අමුත්තන් රැසක් ද මෙම ප්‍රසංගය සඳහා එක්වූහ.

‘For to Us a Child is Born’ යන තේමාව පෙරටු කරගනිමින් පැවති මෙම නත්තල් කැරොල් ගී ප්‍රසංගයේදී යුද්ධ හමුදා ගායන කණ්ඩායම්වලට අමතරව ශාන්ත ජෝශප් විද්‍යාලයේ සහ කොටහේන යහපත් එඬේරාගේ කන්‍යාරාමයේ ගායක ගායිකාවන් ද එක්ව කැරොල් ගී ගායනා කළහ. යුද්ධ හමුදා ක්‍රිස්තියානි සංගමයේ සභාපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.බී.එස්.එම්. අබේසේකර ආර්එස්පී යූඑස්පී ගේ මාර්ගෝපදේශ අනුව එම සංගමයේ ලේකම් මේජර් ජෙනරල් බී.කේ.ජී.එල්.එම්. රොද්‍රිගෝ ආර්එස්පී පීඑස්සී අයිජී සමඟ එක්ව යුද්ධ හමුදා ක්‍රිස්තියානි සංගමයේ සාමාජිකයන් විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා දේවගැති ගරු (ආචාර්ය) නොයෙල් ඩයස් පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් මෙම නත්තල් කැරොල් ගී ප්‍රසංගය පැවැත්වීය.

මෙම උත්සවයේ සමාරම්භය සනිටුහන් කරමින් ගරු ජූඩ් ෂර්මන් පියතුමන් විසින් නත්තල් පණිවිඩය කියවූවේය. ප්‍රවීණ ඒකල ගායන ශිල්පීන් වන අනිල් භාරතී ප්‍රමුඛ තවත් ප්‍රවීණ ගායනශිල්පීන් කිහිපදෙනෙකු මෙම නත්තල් කැරොල් ගී ප්‍රසංගය වර්ණවත් කරමින් ගීත ගායනා කළහ.

මෙම අවස්ථාවේදී සම්භාවනීය අමුත්තන් වෙත නත්තල් සුභපැතුම් පිරිනැමීමෙන් අනතුරුව ‘බෙත්ලෙහෙම්පුරේ’, ‘නමෝ මරියනි’, ‘ශුද්ධ වූ රාත්‍රිය’, ‘ජින්ගල් බෙල්ස්’ සහ ‘නිහඬ රාත්‍රිය’ යනාදි නත්තල් අසිරිය සිහිගැන්වෙන ගීතිකා ගායනා කෙරිණි.