Header

Sri Lanka Army

Defender of the Nation

23rd December 2022 20:30:01 Hours

කමාන්ඩෝ රෙජිමේන්තු මූලස්ථානයට නව කාර්යාල සංකීර්ණයක්

ගණේමුල්ලේ පිහිටි කමාන්ඩෝ රෙජිමේන්තු මූලස්ථානයේ ඉදිකරනු ලැබු නව දෙමහල් පරිපාලන ගොඩනැගිලි සංකීර්ණය ඉකුත් (19) දින පැවති උත්සවයකදී විවෘත කරන ලදී.

ගොඩනැගිලි සංකීර්ණය විවෘත කිරිමේ උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිතයින් ලෙස ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික), ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සහභාගී වූහ.

එම අවස්ථාවට සපැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තන් කමාන්ඩෝ රෙජිමේන්තුවේ ප්‍රධාන දොරටුව අභියසදී එම රෙජිමේන්තුවේ භටපිරිස් විසින් කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනමා පිළිගනු ලැබීය. පසුව, කමාන්ඩෝ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඒ.කේ.ජී.කේ.යූ. ඥාණරත්න එන්ඩීයූ පීඑස්සී සහ කමාන්ඩෝ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් බී.එම්.එස්.කේ.කේ ධර්මවර්ධන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී විසින් නව කාර්යාල සංකීර්ණය ඉදිරිපිට දී උණුසුම් අයුරින් පිළිගනු ලැබිණි.

ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් මහා සංඝරත්නයේ ‘සෙත් පිරිත්’ සජ්ඣායනා මධ්‍යයේ පීත්ත පටිය කපා සුභ මොහොතින් නව ගොඩනැගිලි සංකීර්ණය විවෘත කරන ලදී.

කමාන්ඩෝ රෙජිමේන්තු මධ්‍යස්ථානයට දිගුකාලීන අවශ්‍යතාවයක්ව පැවැති, මෙම නව කාර්යාල සංකීර්ණයේ සංචාරයක නිරත වූ ප්‍රධාන ආරාධිත අමුත්තා එහි සෑම අංශයක්ම නිරීක්‍ෂණය කළ අතර එහිදී ගොඩනැගිලි සංකීර්ණයට අදාළ පරිපාලන කටයුතු පිළිබඳව ද එතුමන් විසින් සොයාබලන ලදී.

මෙම අවස්ථාව සිහිවනුවස් නව කාර්යාල සංකීර්ණය ඉදිරිපිට පැළ සිටුවීම සඳහා ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික), ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ වෙත ආරාධනා කරන ලදී. පසුව සමූහ ඡායාරූපයක් සඳහා පෙනී සිටි ඔවුන් කමාන්ඩෝ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහන්ද තැබූහ.

මේජර් ජෙනරල් ඒ.කේ.ජී.කේ.යූ. ඥාණරත්න එන්ඩීයූ පීඑස්සී විසින් දිනයේ ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස සහභාගී වූ ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික), ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ වෙත විශේෂ සමරු තිළිණයන් ද ප්‍රදානය කරනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් සී.ඩී. වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ඩී.ජී.එස්. සෙනරත් යාපා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.