18th December 2022 12:55:25 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ පාඨමාලා හදාරා සෙනසුරාදා (07) දින විසිර යනු ලැබූ කෙඩෙට් නිලධාරින්ගේ අවසන් පර්යේෂණ අධ්‍යයන ඉදිරිපත් කිරීම පසුගිය සිකුරාදා (16) දින සන්ධ්‍යාවේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සිනෝ ලංකා මිත්‍රත්ව ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් සහභාගී විය.
සම්භාවනීය අමුත්තන් ශ්‍රවණාගාරයට පැමිණීමෙන් අනතුරුව එම කෙඩෙට් නිලධාරීන් විසින් ‘රුසියානු - යුක්රේන ගැටුම සහ දකුණු ආසියාතික බලපෑම්’ යන තේමාව ඔස්සේ මනාව සකස් කරන ලද පර්යේෂණ සොයාගැනීම් සංග්‍රහය ප්‍රේක්‍ෂකාගාරය වෙත ඉදිරිපත් කරන ලදී. ඉන් අනතුරුව, ප්‍රශ්නෝත්තර සැසියක් පැවැත්වූ අතර එහිදී, අතිගරු ජනාධිපතිතුමන් ඇතුළු ප්‍රේක්‍ෂකයින් අදහස් දක්වමින් එම මාතෘකාවේ විවිධ පැතිකඩයන් පිළිබඳව කෙඩෙට් නිලධාරින් දැනුවත් කළහ. එම කෙඩෙට් නිලධාරින් අධිකාරියට පත්කිරීමට ප්‍රථම අනිවාර්ය අංගයක් ලෙස මෙම අවසන් පර්යේෂණ ඉදිරිපත් කිරීම සිදුකරනු ලබයි.
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් කැඩෙට් නිලධාරීන් වෙත උපදෙස් ලබාදීමෙන් අනතුරුව එම කෙඩෙට් නිලධාරින් වෙත වැඩිදුර උපදෙස් සහ ජාතික කාර්යයන් වෙනුවෙන් කැපවීමට අවශ්‍ය මාර්ගෝපදේශ ලබාදීම සඳහා අතිගරු ජනාධිපතිතුමන් වෙත ආරාධනා කළේය.
මෙම අවස්ථාවට ගරු ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමන්, ජනාධිපති ප්‍රධාන මාණ්ඩලික නිලධාරි සහ ජනාධිපති ප්‍රධාන උපදේශක සාගල රත්නායක මැතිතුමන්, ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික), ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් සී.ඩී. වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ තවත් සම්භාවනීය පිරිසක් සහභාගී වූහ.
කෙඩෙට් නිලධාරින්ගේ ඉදිරිපත් කිරීම් සමාප්තියේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සඟරාව නිකුත් කිරීම සහ එහි මෘදුකාංග පිටපත උත්පනය කිරීම (uploading) ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායක මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ආර්.ආර්.වී.එම්.එන්.ඩී.කේ.බී. නියන්ගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ගේ ආරාධනයකට අනුව සිදුකෙරිණි. උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් එම සඟරාවේ ප්‍රථම පිටපත අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ අනෙකුත් සියලුම සම්භාවනීය අමුත්තන් වෙත පිළිගැන්වීය.
මෙම අවස්ථාවට ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්ගේ භාර්යාව චිත්‍රානි ගුණරත්න මහත්මිය, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ගේ භාර්යාව සුජීවා නෙල්සන් මහත්මිය, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මිය ඇතුළු තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ භාර්යාවන් ද එක්වූහ.