14th December 2022 19:16:47 Hours
දින පහක දීර්ඝ නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දීය නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් ආර් හරි කුමාර් පීවීඑස්එම් ඒවීඑස්එම් වීඑස්එම් ඒඩීසී (R Hari Kumar) අඟහරුවාදා (13) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ හමුවිය.
යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි ඉන්දීය නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් ආර් හරි කුමාර් යුද්ධ හමුදා මූලස්ථාන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඩී.කේ.ආර් පෙරේරා විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව යුද්ධ හමුදා භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරය එතුමන් වෙත පිරිනමන ලදී. මෙම සුහද හමුවේදී දෙරටෙහි පවත්නා ද්විපාර්ශ්වික සබඳතා සහ සමුද්‍රීය සහයෝගීතාව තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සහ එහි වැදගත්කම පිළිබඳ වැඩිදුරටත් සාකච්ඡා කරනු ලැබීය.
අනතුරුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් යුද්ධ හමුදා මූලස්ථානය වෙත සපැමිණි ඉන්දීය නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් ආර් හරි කුමාර් ඉතා උණුසුම් ලෙස පිළිගැනීමෙන් අනතුරුව එතුමන් වෙත යුද්ධ හමුදා මූලස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන් හඳුන්වා දෙනු ලැබීය.
මෙම නිල සංචාරය සනිටුහන් කරමින් ඉන්දීය නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් ආර් හරි කුමාර් යුද්ධ හමුදා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ සමූහ ඡායාරූපයකට ද පෙනී සිටි අතර, පසුව එතුමන් යුද්ධ හමුදාධිපති කාර්යාලය වෙත කැටුව යනු ලැබීය.
යුද්ධ හමුදාධිපතිතුමන් සමඟ පැවති සුහඳ සාකච්ඡාවේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සහ ඉන්දීය නාවික හමුදාවේ අවධානයට ලක්විය යුතු ද්විපාර්ශ්වික කරුණු පිළිබඳව සුහඳව අදහස් හුවමාරු කරගත් ඉන්දීය නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් ආර් හරි කුමාර් මුහුදු කලාපයේ සමුද්‍රීය ආරක්‍ෂාව සහ ඒ ආශ්‍රිතව කරුණු පිළිබඳව ද සාකච්ඡා කිරීමෙන් අනතුරුව, එතුමන්ගේ සංචාරය සනිටුහන් කිරීම සඳහා යුද්ධ හමුදාධිපති කාර්යාලයේ විශේෂ අමුත්තන් සඳහා වූ සමරු සටහන් පොතෙහි සටහනක් ද තැබීය.
මෙම සුහද සාකච්ඡාව අවසානයේ දෙරටේ දිගුකාලීන මිත්‍රශීලී සබඳතාවය පිළිබිඹු කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් සහ ඉන්දීය නාවික හමුදා ප්‍රධානී අතර විශේෂ සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකෙරිණි.
යුද්ධ හමුදාධිපති කාර්යාලයේ පැවැති මෙම සුහද සාකච්ඡාව සඳහා අධ්‍යක්‍ෂ ජෙනරල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් එස්.යූ.එම්.එන් මානගේ ඩබ්ලිව්ඩබ්ලිව්වී. ආර්ඩබ්ලිව්පී. ආර්එස්පී. පීඑස්සී සහ යුද සේවා ලේකම් මේජර් ජෙනරල් ඩී.බී.එස්.එන් බෝතොට ආර්ඩබ්ලිව්පී. ආර්එස්පී. යූඑස්පී. පීඑස්සී යන නිලධාරීන් ද සහභාගී වූහ.