Header

Sri Lanka Army

Defender of the Nation

14th December 2022 18:46:55 Hours

මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ලෙස සිය ධූරයේ රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 3 වැනි ජ්‍යෙෂ්ඨතම පත්වීම් වන නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී තනතුරට පත්වූ විශේෂ බලකායේ මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා යුද්ධ හමුදා සම්ප්‍රදායානූකූලව බදාදා (14) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පැවැති උත්සවයකදී සිය ධූරයේ රාජකාරි භාර ගන්නා ලදී.

මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා, මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ නිල ලේඛණයට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කළේය. පසුව එතුමන් විසින් මහා සංඝරත්නය වෙත ‘පිරිකර’ සහ ‘ගිලන්පස’ පූජා කරමින් ආශිර්වාද ලබා ගත්තේය.

මෙම නව පත්වීමට පෙර මේජර් ජෙනරාල් සුජීව සෙනරත් යාපා කොස්ගම පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ සේනාවිධායක ලෙස කටයුතු කරන ලදී. රාජකාර‍ි භාරගැනීමේ උත්සව අවස්ථාව සඳහා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ මාණ්ඩලික නිලධාරීන් සහ සෙසු නිලයන් පිරිසක් ද සහභාගී වූහ.

මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා පිළිබඳ කෙටි හැඳින්වීමක් පහතින් දැක්වේ:

වර්ෂ 1968 ජුනි මස 02 වැනි දින උපත ලද ඔහු පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකි. පාසල් අධ්‍යාපනයට මෙන්ම මලල ක්‍රීඩා අංශයේද කැපිපෙනන දස්කම් දැක්වූ එතුමන් තම පාසලේ ගෞරවය සහ කීර්තිය දිනා ගැනීමට ද සමත් විය.

එතුමන් වර්ෂ 1987 මාර්තු 16 වන දින කෙඩෙට් නිලධාරි අංක 27 යටතේ කෙඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට බැදි දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ මූලික යුද පුහුණුව සාර්ථකව නිම කිරීමෙන් පසු දෙවන ලුතිනන් වරයෙකු ලෙස අධිකාරියට පත් වු මෙතුමන් වර්ෂ 1988 දී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ පාබල රෙජිමේන්තුවක් වන ගජබා රෙජිමේන්තුව වෙත අනුයුක්ත කරන ලදී.

වර්ෂ 1988 දෙසැම්බර් මස 10 දින 3 වන ගජබා රෙජිමේන්තුවේ ඛණ්ඩභාර නිලධාරි ලෙස රාජකාරි හා වගකීම් භාර ගත් මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා ජාතියේ ආරක්‍ෂාව වෙනුවෙන් තමන්ට කළ හැකි උපරිමය කිරීම සඳහා ගජබා රෙජිමේන්තුවෙන් නික්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදා විශේෂ බලකායට එක්විය. පසුව විශේෂ බලකායේ පාඨමාලා අංක 06 යටතේ මූලික පුහුණු පාඨමාලාව සාර්ථකව නිම කළ මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි වර්ෂ 1989 ඔක්තෝබර් මස 10 දින විශේෂ බලකා සාමාජිකයෙකු ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා විශේෂ බළකායට එක්විය.

මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා සිය යුද්ධ හමුදා සේවා කාලය තුළ අණ, මාණ්ඩලික සහ උපදේශක පත්වීම් රාශ්‍රයක් හොඹවා ඇති අතර, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට අදාළ පත්වීම් වලදී මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි විශේෂ දක්‍ෂතාවයන් පිළිඹිබු කර ඇත. තවද මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි වර්ෂ 2009 මැයි මාසයට පෙර වසර 22 කට වැඩි සේවා කාලයක් තුළ රටේ උතුරු හා නැගෙනහිර මානුෂීය මෙහෙයුමේදී එතුමන්ට පැවරුණු රාජකාරි සඳහා සුවිශේෂී කැපවීමක් දක්වනු ලැබීය.

3 වන ගජබා රෙජිමේන්තුවේ ඛණ්ඩභාර නිලධාරි, 1 වන විශේෂ බලකායේ ඛණ්ඩභාර නිලධාරිය, බලඝණයේ දෙවන අණදෙන, බ්‍රාවෝ බලඝණයේ අණදෙන නිලධාරි, විශේෂ බලකා පුහුණු පාසලේ ජ්‍යෙෂ්ඨ උපදේශක, විශේෂ බලකා බලසේනාවේ බලසේනා මේජර්, 3 වන විශේෂ බලකායේ දෙවන අණදෙන නිලධාරි, 1 වන සහ 3 වන විශේෂ බලකායේ අණදෙන නිලධාරි, විශේෂ බලකා පුහුණු පාසලේ සේනාවිධායක, 593 බලසේනාවේ බලසේනාධිපති, විශේෂ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක, විශේෂ බලකා බලසේනාවේ බලසේනාධිපති, ආරක්‍ෂක සේනා මූලස්ථානය - කිලිනොච්චිය බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි, කිළිනොච්චි සහ කොළඹ ස්ථාපිත 57 සහ 14 පාබල සේනාංකවල සේනාංකාධිපති ලෙස තනතුරු හොඹවා ඇත. මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර සහ යාපනය තනතුරුද හෙඹවා ඇති අතර, යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ලෙස රාජකාරි භාර ගැනීමට පෙර ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක ලෙස රාජකාරි කරනු ලැබීය.

මේජර් ජෙනරල් සෙනරත් යාපා වර්ෂ 2010 ශ්‍රී ලංකාව යුද්ධ හමුදා මූලස්ථානය යටතේ පැවති ආරක්‍ෂක සහ උපාය මාර්ගික අධ්‍යයන පාඨමාලාව සහ නායකත්ව වැඩසටහන් සඳහා ද, ඉන්දියාවේ මූලික පැරෂුට් පාඨමාලාව - (1991), ඉන්දියාවේ කමාන්ඩෝ පාඨමාලාව - (1992), ඉන්දියාවේ තරුණ නිලධාරීන්ගේ පාඨමාලාව - (1996), පාකිස්ථානයේ මධ්‍ය-වෘත්තීය පාඨමාලාව - (1996), ඉන්දියාවේ හමුදා නිරීක්‍ෂණ පාඨමාලාව - (2012) සහ චීනයේ ඒකක අණදෙන්නන්ගේ පාඨමාලාව - (2013) වැනි විදේශීය පාඨමාලා රැසක් සාර්ථකව හඳාරා ඇති ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.

මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි, එක්සත් ජනපදයේ, ඉන්දු - ශ්‍රී ලංකාවේ උපාය මාර්ගික අධ්‍යයන සඳහා වූ නැගෙනහිර දකුණු ආසියානු මධ්‍යස්ථානයේ (NESA) ත්‍රස්තවාදය වැළැක්වීමේ විධායක සම්මන්ත්‍රණය (2007) ඇතුළුව වෘත්තීය සම්බන්ධ වැඩසටහන්, වැඩමුළු, සම්මන්ත්‍රණ රැසකට සහභාගී වී ඇත. ඒ අතර, ඒකාබද්ධ හමුදා පුහුණු අභ්‍යාසය ‘මිත්‍ර ශක්ති’ සම්බන්ධීකරණ සහ සැලසුම් සම්මන්ත්‍රණය (2012) ඉන්දියාව, චීනය - ශ්‍රී ලංකා විශේෂ ඒකාබද්ධ මෙහෙයුම් අභ්‍යාසය (සම්බන්ධීකරණ හා සැලසුම් සම්මන්ත්‍රණය) (2015) චීනය, “කැලෑබද මෙහෙයුම්” පිළිබඳ පළමු ජාත්‍යන්තර සම්මන්ත්‍රණය (2015) බ්‍රසීලය, ශ්‍රී ලංකා විශේෂ බලකායේ ත්‍රෛපාර්ශ්වික ත්‍රස්ත මර්දන අභ්‍යාසය (2015) මාලදිවයිනේ සහ පාකිස්තානය, ත්‍රෛපාර්ශ්වික අභ්‍යාස ඊගල් ඩෑෂ් - 1 (2016) පකිස්ථානය, පකිස්ථානයේ ශාරීරික යෝග්‍යතා සහ සටන් කාර්යක්ෂමතා පද්ධතිය (2016) සහ ඇමරිකා එක්සත් ජනපදයේ හවායි හි ප්‍රාන්ත හමුදාව (පැසිෆික් විධානය) (2017), ඉන්දියාවේ හමුදා මාණ්ඩලික සාකච්ඡා (2022) සහ ජිනීවාහි වාර්ෂික ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සම්මන්ත්‍රණය (2022) සඳහා සහභාගී වී ඇත.

මේජර් ජෙනරල් සෙනරත් යාපා චීනයේ බීජිං නුවර ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් ද වන අතර, එහිදී ඔහු උපාය මාර්ගික හමුදා අධ්‍යයනය පිළිබඳ සිය දෙවන ශාස්ත්‍රපති උපාධිය ලබා ගත්තේය. තවද, මෙතුමන් ශ්‍රී ලංකාවේ කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයෙන් කළමනාකරණය (ආරක්ෂක) පිළිබඳ මූලික ශාස්ත්‍රපති උපාධිය ද ලබාගෙන ඇත.

මේජර් ජෙනරල් සෙනරත් යාපා මානූෂීය මෙහෙයුමේදී සතුරා ඉදිරියේ තනිව සහ කණ්ඩායමක් ලෙස දක්වනු ලැබු නිර්භීත ක්‍රියාවන් වෙනුවෙන් තුන් වතාවක් රණ වික්‍රම පදක්කම (RWP) පිදුම් ලබා ඇත. සතුරා හමුවේ දැක්වු විශිෂ්ඨ වීර ක්‍රියාවන් වෙනුවෙන් එතුමන් වෙත සිව් වරක් රණ සූර පදක්කම (ආර්එස්පී) පිරිනමා ඇත. තවද, නැගෙනහිර මානුෂීය මෙහෙයුම් පදක්කම, උතුරු මානුෂීය මෙහෙයුම් පදක්කම, පූර්ණ භූමි පදක්කම, උතුරු නැගෙනහිර මෙහෙයුම් පදක්කම සහ රිවිරැස මෙහෙයුම් පදක්කමෙන් පිදුම් ලබා ඇත. වර්ෂ 1998 දී 50 වැනි නිදහස් සංවත්සර පදක්කම, වර්ෂ 1999 දී ශ්‍රී ලංකා යුද්ධ හමුදා 50 වැනි සංවත්සර පදක්කම, ශ්‍රී ලංකා සන්නද්ධ සේවා දීර්ඝ සේවා පදක්කම, සේවාභිමානී පදක්කම, සහ සේවා පදක්කමින් ද මෙම ජ්‍යෙෂ්ඨ නිලධාර පිදුම් ලබා ඇත. මේවන විට මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදා විශේෂ බළකා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති ලෙස කටයුතු කරනු ලබයි.

මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා නයනි සමන්ති මහත්මිය සමඟ විවාහ වී සිටින අතර, ඔවුන් දෙපලට පුතුන් දෙදෙනෙකු සිටියි.