Header

Sri Lanka Army

Defender of the Nation

14th December 2022 19:14:21 Hours

නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් ඒ.කේ.ජී.කේ.යූ ඥාණරත්න එන්ඩීසී පීඑස්සීගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

දශක තුනකට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කමාන්ඩෝ රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන 1 වන බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඒ.කේ.ජී.කේ.යූ ඥාණරත්න එන්ඩීසී පීඑස්සී සිය පවුලේ සාමාජිකයන් සමගින් බදාදා (14) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ හමුවිය.

මෙම හමුවේදී යුද්ධ හමුදාධිපතිතුමන් විසින් නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් ඒ.කේ.ජී.කේ.යූ ඥාණරත්න එන්ඩීසී පීඑස්සී වෙත සිය සුභාශිංසනයන් එක්කල අතර, වර්ෂ 2009 මැයි මාසයට පෙර ත්‍රස්තවාදයට එරෙහිව පැවති මානුෂීය මෙහෙයුමේ අවසන් අදියරේදී කමාන්ඩෝ නිලධාරියෙකු වශයෙන් මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් සිදුකරනු ලැබූ නිර්භීත සේවය පිළිබඳව ද මතකයන් යළි ආවර්ජනය කිරීමද යුද්ධ හමුදාධිපතිතුමන් අතින් සිදුවිය.

යුද්ධ හමුදාධිපතිතුමන් විසින් මේජර් ජෙනරල් ඒ.කේ.ජී.කේ.යූ ඥාණරත්න එන්ඩීසී පීඑස්සී සහ එතුමන්ගේ දියණිය සමඟින් පැවති සුහද පිළිසදරේදී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සේවා කාලය පුරාවටම ඔහුගේ පවුලේ සාමාජිකයන් ඔහුට ලබාදුන් සහය යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ඇගයීමට ලක්කළ අතර, එතුමන්ගේ අනාගත බලාපොරොත්තු වෙනුවෙන්ද සිය සුභාශිංෂනයන් එක්කළේය.

මෙම සුහද හමුවේදී, මේජර් ජෙනරල් ඒ.කේ.ජී.කේ.යූ ඥාණරත්න එන්ඩීසී පීඑස්සී අදහස් දක්වමින් තම වෘත්තීය ජීවිතය තුළ දී යුද්ධ හමුදාධිපතිතුමන් ලබාදුන් සහයෝගය, මඟපෙන්වීම සහ දිරිගැන්වීම් වෙනුවෙන්ද සිය කෘතඥතාවය පලකරන ලදී.

මෙම සුහඳ හමුව අවසානයේදී ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් විශ්‍රාම යන ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.

වර්ෂ 1988 පෙබරවාරි 12 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට බැඳුනු මේජර් ජෙනරල් ඒ.කේ.ජී.කේ.යූ ඥාණරත්න එන්ඩීසී පීඑස්සී ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 29 යටතේ මූලික පුහුණුව සාර්ථකව නිම කිරීමෙන් පසුව දෙවන ලුතිනන්වරයෙකු ලෙස අධිකාරියට පත්ව ශ්‍රී ලංකා යුද්ධ හමුදා කමාන්ඩෝ රෙජිමේන්තුව වෙත අනුයුක්ත කරනු ලැබු මෙතුමන් ක්‍රමානුකූලව උසස්වීම් ලබමින් වර්ෂ 2021 ජනවාරි 28 වන දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය.

විශ්‍රාම දිවියට එළඹීමට නියමිත එතුමන් 1 වන බලකායේ බලකාධිපති සහ කමාන්ඩෝ රෙජිමේන්තුවේ අධිපති ධූරය හෙබවූවේය. මීට ප්‍රථම එතුමන් කණ්ඩායම් අණදෙන නිලධාරි, නිලධාරි අණදෙ‍න ප්‍රාණ ඇපකරුවන් මුදවා ගැනීම හා ප්‍රථිත්‍රස්ථ ක්‍රියාන්විත කණ්ඩායම, විධායක අධිකාරි, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ නිලධාරි උපදේශක, කමාන්ඩෝ බලසේනාවේ බලසේනා මේජර්, පුහුණු අධ්‍යක්‍ෂක මණ්ඩලයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරී (පුහුණු), කමාන්ඩෝ රෙජිමේන්තුවේ මෙහෙයුම් සහ පුහුණු නිලධාරී 1, කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේ ප්‍රධාන උපදේශක, කොළඹ ක්‍රියාන්විත අණසක මෙහෙයුම් මූලස්ථානයේ දෙවන අණදෙන නිලධාරි සහ අණදෙන නිලධාරී, ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධ විද්‍යාලයෙහි ප්‍රධාන උපදේශක, 523 වන පාබල බලසේනාවේ බලසේනාධිපති, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ නියෝජ්‍ය සේනාවිධායක, කමාන්ඩෝ බලසේනාවේ ආඥාපති, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායක සහ 14 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති වැනි ධූරයන් හොබවා ඇත.

මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ කීර්තීමත් යුද්ධ හමුදා සේවා කාලය තුළ ඔහු කැඩෙට් නිලධාරී පාඨමාලාව - එක්සත් රාජධානිය (SMC-903), මූලික පැරෂුට් පාඨමාලාව - ඉන්දියාව, ඝතක් (කමාන්ඩෝ පාඨමාලාව) පාඨමාලාව - ඉන්දියාව, තරුණ නිලධාරී පාඨමාලාව - පකිස්ථානය, කනිෂ්ඨ අණදෙන පාඨමාලාව - ඉන්දියාව, ජ්‍යෙෂ්ඨ අණදෙන පාඨමාලාව - ඉන්දියාව, Higher Defence Orientation පාඨමාලාව - ඉන්දියාව, ජාතික ආරක්‍ෂක විද්‍යාලීය පාඨමාලාව - බංගලාදේශය යන විදේශීය පාඨමාලා සහ කමාන්ඩෝ පාඨමාලාව, මූලික බුද්ධි සහ ආරක්‍ෂක පාඨමාලාව, ප්‍රාණ ඇපකරුවන් මුදවා ගැනීම හා ප්‍රථිත්‍රස්ථ ක්‍රියාන්විත පාඨමාලාව, තරුණ නිලධාරීන්ගේ පාඨමාලාව, ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයෙහි සහතික පත්‍ර පාඨමාලාව, ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික නිලධාරී පාඨමාලාව, කළමනාකරන සහ නායකත්ව සංවර්ධන වැඩසටහන සහ ගැටුම් නිරාකරණය පිළිබඳ ඩිප්ලෝමාව ආදී දේශීය පාඨමාලා රැසක් සාර්ථකව හදාරා ඇත.