Header

Sri Lanka Army

Defender of the Nation

10th December 2022 11:10:13 Hours

59 වන සේනාංකයේ 15 වන සංවත්සරය අභිමානවත් අයුරින් සමරයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 59 වන සේනාංකයේ 15 වන සංවත්සර උත්සවය 59 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් මහින්ද රණසිංහ ගේ උපදෙස් මත එම සේනාංකයේ භටපිරිස්හි සහභාගීත්වයෙන් ඉකුත් බ්‍රහස්පතින්දා (01) දින යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව සහ බෞද්ධ ආගමික වතාවත් මධ්‍යයේ වැඩසටහන් මාලාවක් පවත්වනු ලැබුණි.

සංවත්සරයට පෙර දින 59 සේනාංකය යටතේ ස්ථාපිත බලසේනා සහ ඒකකයන්හි සේවයේ නියුතු සියලුම දෙනාවෙත ආශිර්වාද පතා මහා සංඝරත්නය විසින් කඳවුරු පරිශ්‍රයේදී බෝධි පූජාමය පිංකමක්ද පවත්වනු ලැබීය.

සංවත්සර දින 59 වන සේනාංක කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි මේජර් ජෙනරල් මහින්ද රණසිංහ එම සේනාංකයේ කාර්ය මණ්ඩලය විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව යුද්ධ හමුදා භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරයද එතුමන් වෙත පුදකරනු ලැබූහ. අනතුරුව මේජර් ජෙනරල් මහින්ද රණසිංහ විසින් 59 වන සේනාංකයේ භටපිරිස් ඇමතීමෙන් පසුව සියලු නිල තේ පැන් සංග්‍රහයක් සඳහාද එක් විය.

සංවත්සර දිනට පසුදින 59 වන සේනාංකයේ සියලුම නිලයන්ගේ සහභාගීත්වයෙන් සුහද හමුවක් සහ සංගීත සංදර්ශණයක් පැවැත්වූ අතර, එම අවස්ථාව සඳහා 59 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන් සහ 57 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන්, 59 සේනාංකය යටතේ ස්ථාපිත බලසේනාවන්හි බලසේනාංකාධිපතිවරුන් සහ එම සේනාංකයේ කාර්ය මණ්ඩලය, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක්ද සහභාගී වූහ.