Header

Sri Lanka Army

Defender of the Nation

10th December 2022 13:10:13 Hours

ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ නව බලකාධිපති රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ 22 වන බලකාධිපති ලෙස මේජර් ජෙනරල් එම් කේ ජයවර්ධන පසුගිය සඳුදා (05) දින පැවති හමුදා සම්ප්‍රදායානූකූල උත්සවයකදී බෞද්ධ ආගමික වතාවත් මධ්‍යයේ සිය ධූරයේ රාජකාරි කටයුතු භාරගන්නා ලදී.

ඉංජිනේරු බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් එම් කේ ජයවර්ධන එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් මනෝජ් මදුරප්පෙරුම විසින් ඉතා උණුසුම් අයුරින පිළිගන්නා ලද අතර, එහිදී භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය එතුමන් වෙත පුදකරන ලදී. ඉන් පසුව එතුමන් මාතෘභූමියේ නිදහස වෙනුවෙන් සිය ජීවිත පරිත්‍යාගය කළ ඉංජිනේරු බලකායේ වීරෝදාර රණ විරුවන් සිහිකරමින් රණවිරු ස්‌මාරකය වෙත පුෂ්පෝපහාර පුදකරනු ලැබීය.

මේජර් ජෙනරල් එම්.කේ ජයවර්ධන මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් සිය ධූරයේ රාජකාරි කටයුතු අරඹන ලද අතර, එම අවස්ථාවට රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ කාර්ය මණ්ඩලයද සහභාගී වූහ.

ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ නව බලකාධිපති ලෙස රාජකාරි කටයුතු අරඹන ලද මේජර් ජෙනරල් එම්.කේ ජයවර්ධන විසින් එම අවස්ථාවට සපැමිණි භටපිරිස් ඇමතීමද මෙම අවස්ථාවේදී සිදුවිය. ඉන් අනතුරුව පැවති සියළු නිල තේ පැන් සංග්‍රහයෙන් පසු එදිනට නියමිත උත්සව කටයුතු අවසන් විය.