Header

Sri Lanka Army

Defender of the Nation

09th December 2022 14:30:28 Hours

ප්‍රතිත්‍රස්ථ කැලෑබද සටන් පුහුණු පාඨමාලා අංක - 31 සහ 32 සාර්ථකව අවසන්

අම්පාර මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේදී පැවති ප්‍රතිත්‍රස්ථ කැලෑබද සටන් පුහුණු පාඨමාලා අංක - 31 සහ 32 සාර්ථකව හැදෑරූ නිලධාරීන් සහ සෙසුනිලයන් සඳහා සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එම පුහුණු පාසලේ සේනාවිධායක මේජර් ජෙනරල් සේනක කස්තුරිමුදලි සහභාගී වූවේය.

අගෝස්තු මස 8 දින සිට දෙසැම්බර් මස 06 දින දක්වා පැවති ප්‍රතිත්‍රස්ථ කැලෑබද සටන් පුහුණු පාඨමාලා අංක - 31 පාඨමාලාව යුද්ධ හමුදා නිලධාරීන් 21 දෙනෙක් සහ එක් නාවික හමුදා නිලධාරියෙක් ඇතුළුව බංගලාදේශය, නේපාලය සහ පකිස්ථානය යන රටවල් නියෝජනය කරමින් සහභාගී වූ විදේශීය හමුදා නිලධාරීන් 5 දෙනෙකු සමඟින් නිලධාරීන් 27 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවති අතර, පාඨමාලාවේ දක්‍ෂතම ශිෂ්‍ය නිලධාරි වෙත හිමි සම්මානය ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ කපිතන් ඒ.ඒ.පී.වී. සුරවීර විසින් හිමිකරගනු ලැබීය.

ප්‍රතිත්‍රස්ථ කැලෑබද සටන් පුහුණු පාඨමාලා අංක - 32 සැප්තැම්බර් මස 5 සිට නොවැම්බර් මස 30 දින දක්වා දින 60 ක කාලසීමක් මුළුල්ලේ පැවැත්වූ අතර, එම පාඨමාලාව සඳහා සහභාගී වූ යුද්ධ හමුදාවේ සෙසුනිලයින් 73 වෙත සහතිකපත් ප්‍රදානය කිරීම අම්පාර මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසල සේනාවිධායක මේජර් ජෙනරල් සේනක කස්තුරිමුදලිගේ ප්‍රධානත්වයෙන් පසුගිය නොවැම්බර් 30 දින පැවැත්විණි. පාඨමාලාවේ දක්‍ෂතම ශිෂ්‍යයා වෙත හිමි සම්මානය 11 වන ගැමුණු හේවා බලකායේ කෝප්‍රල් ඩී.එම්.පී දිසානායක විසින් හිමිකරගනු ලැබීය.

පාඨමාලා දෙකෙහිම පුහුණු ක්‍රමවේදයන්ට දේශන සහ එළිමහන් ප්‍රායෝගික පුහුණු සැසිවාරයන් ඇතුළත් විය. මෙම අවස්ථාව සඳහා මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ අණදෙන නිලධාරී කර්නල් කුමාර රණතුංගමගේ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.