Header

Sri Lanka Army

Defender of the Nation

08th December 2022 18:44:13 Hours

විදේශ විනිමය ඉතිරිකිරීමේ අරමුණින් යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් යුධෝපකරණ නිෂ්පාදනාගාරය වේයන්ගොඩදී යලි ස්ථාපිත වෙයි

‘යුද්ධ හමුදා ඉදිරි උපායමාර්ගික සැලැස්ම 2020 - 2025’ ට සමගාමීව අත්‍යවශ්‍ය යුද උපකරණ නිෂ්පාදනය නව මාවතකට යොමුකිරීම සහ විදේශ විනිමය විශාල ප්‍රමාණයක් ඉතිරි කරගැනීමේ අරමුණින් කෙටි කාලයක් තුළ යුද්ධ හමුදාවේ යුද්ධෝපකරණ අවශ්‍යතාවයන් සපුරාගැනීම සඳහා යලි ස්ථාපිත කරන ලද යුද්ධ හමුදා යුධෝපකරණ කර්මාන්ත ශාලාව වේයන්ගොඩ ප්‍රදේශයේ පිහිටි මධ්‍යම අවි හා පතුරොම් ගබඩා පරිශ්‍රයේදී අද (8) දින විවෘත කරන ලදී.

යුද්ධ හමුදාව වෙත අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ යුධෝපකරණ නිෂ්පාදන ප්‍රමාණය වර්ධනය කිරීමේ අරමුණින් යලි ස්ථාපිත කරනු ලැබූ යුද්ධ හමුදා යුධෝපකරණ කර්මාන්ත ශාලාව විවෘත කිරීමේ අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ ආරාධනයෙන් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සහභාගී විය.

තෝරාගත් විවිධ උපකරණ, යකඩ ඇඳන්, සම් නිෂ්පාදන, ඇඟලුම්, නැවත පිරවූ ටයර්, කැනපි ආවරණ ආදී ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමේ අරමුණින් 2014 වර්ෂයේදී යුද්ධ හමුදාවේ ප්‍රථම යුධෝපකරණ කර්මාන්ත ශාලාව දොඹගොඩ ප්‍රදේශයේ ස්ථාපිත කරන ලදී. වේයන්ගොඩ ප්‍රදේශයේ පුළුල් ඉඩ පරාසයක් තුළ ඉදිකරනු ලැබූ නව යුධෝපකරණ කර්මාන්ත ශාලාවේ ඉදිකිරීම් කටයුතු 2021 වර්ෂයේ ආරම්භ වූ අතර, 2022 දෙසැම්බර් මස මුල් භාගයේදී අවසන් කෙරිණි.

මෙම අවස්ථාව සඳහා සපැමිණි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් එම්.ඊ.පී. වීරසිංහ යූඑස්පී ඒටීඕ විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව ප්‍රධාන දොරටුව අභියසදී භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය (drive-past) ද එතුමන් වෙත පුදකළහ. ඉන් අනතුරුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ කර්නල් සේනාවිධායකතුමන්ගේ ආරාධනයකට අනුව යුද්ධ හමුදාධිපතිතුමන් විසින් මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සමරු ඵලකය නිරාවරණය කර නව යුද්ධ හමුදා යුධෝපකරණ කර්මාන්ත ශාලාව විවෘත කරන ලදී.

නව යුධෝපකරණ කර්මාන්ත ශාලාව විවෘත කිරීමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ කර්නල් සේනාවිධායක ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් ඇඟලුම්, බඳපටි, ශිරස්ක, බූට් සපත්තු, රෙදි විවීම, යකඩ ඇඳන් සහ විවිධ උපකරණ නිෂ්පාදන අංශයන්ගෙන් සමන්විත වන යුධෝපකරණ කර්මාන්ත ශාලාවේ නිරීක්‍ෂණ සංචාරයක ද නිරත වූහ.

සමූහ ඡායාරූප කිහිපයකට එක් වූ යුද්ධ හමුදාධිපතිතුමන් මෙම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් ඩී.ජී.එස්. සෙනරත් යාපා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඩී.එම්.කේ.ඩී.බී. පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී, මූල්‍ය කළමනාකරණ අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් ඩබ්ලිව්.බී.එස්.එම්. අබේසේකර ආර්එස්පී යූඑස්පී, උපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරල් ජී.ආර්.ආර්.පී. ජයවර්ධන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන මූලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරල් එස්.පී.ඒ.අයි.එම්.බී. සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සී, විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් ජේ.ඒ.ආර්.එස්.කේ. ජයසේකර ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පසුගිය දිනක යුද්ධ හමුදාධිපතිතුමන් සමඟින් සිදුකළ සාකච්ඡාවන් අතරතුරදී යුද්ධ හමුදාවට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය යුද්ධ හමුදාව තුළම නිෂ්පාදනය කරගැනීමේ අවශ්‍යතාවය පිළිබඳ මෙන්ම එමඟින් යුද්ධ හමුදාවට සහ රටට මුදල් විශාල ප්‍රමාණයක් ඉතිරි වන බවද යුද්ධ හමුදාධිපතිතුමන් විසින් මෙහිදී අවධාරණය කරන ලදී.