Header

Sri Lanka Army

Defender of the Nation

06th December 2022 19:50:26 Hours

නව ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම සිය බලප්‍රදේශයේ සංචාරයක

ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් මොහාන් රත්නායක පසුගිය සිකුරාදා (02) දින සිය බලප්‍රදේශයේ සංචාරයක නිරත වෙමින් 11 වන සේනාංක මූලස්ථානය වෙත සපැමිණියේය.

සේනාංක මූලස්ථානය වෙත සපැමිණි ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම, 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කල්ප සංජීව විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය ද එතුමන් වෙත පුදකරන ලදී.

11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කල්ප සංජීව විසින් එම සේනාංකයේ කාර්යභාරය සහ වගකීම් පිළිබඳව සංචාරයේ නියුතු මේජර් ජෙනරල් කල්ප සංජීව දැනුවත් කිරීමෙන් අනතුරුව භටපිරිස් ඇමතූ ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම, සිය ඉදිරි දැක්ම පිළිබඳ භටපිරිස් දැනුවත් කළේය. එම සේනාංක මූලස්ථානයෙන් නික්ම යාමට ප්‍රථම මේජර් ජෙනරල් කල්ප සංජීව සමූහ ඡායාරූපයකට පෙනීසිටි අතර එම සේනාංකයේ විශේෂ අමුත්තන් සඳහා වූ සමරු පොතේ සටහනක් ද තැබුවේය.

11 වන සේනාංක මූලස්ථානය වෙත පැමිණීමට පෙර, ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් මොහාන් රත්නායක පල්ලෙකැලේ නව යුද්ධ හමුදා මුලික රෝහල් පරිශ්‍රය වෙත ගොස් එහි අවසන් වෙමින් පවතින ඉදිකිරීම් කටයුතු පිළිබඳ සොයාබැලුවේය. එම සංචාරය සඳහා 11 වන සේනාංකයේ සේනාංකාධිපති ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු ද එක්ව සිටියහ. ඉන් අනතුරුව, 5 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදා ඒකකය වෙත සපැමිණි එතුමන් එම ඒකකයේ අණදෙන නිලධාරිතුමන් විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබූ අතර සංචාරයේ නිරත ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම එම ඒකකයේ භටපිරිස් සමඟ සුහද පිළිසඳරක ද නිරත විය.

සංචාරයේ දෙවන දිනය වන සෙනසුරාදා (03) දින දඹුල්ල, කිරලගොල්ල ප්‍රදේශයේ පිහිටි 4 වන ශ්‍රී ලංකා පාබල හමුදා කඳවුර වෙත පැමිණි මේජර් ජෙනරල් මොහාන් රත්නායක, ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - මධ්‍යම මේජර් ජෙනරල් සුගත් රත්නායක විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය එතුමන් වෙත පුදකළහ. ඉන් අනතුරුව, එම බලප්‍රදේශයේ සංචාරයක නිරත වූ එතුමන් උකුවෙල, බෝවතැන්න සහ මොරගහකන්ද ජල විදුලි බලාගාරයන්හී සේවයේ නියුතු භටපිරිස් සමඟින් සුහද පිළිසඳරක නිරත විය.

111 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් රෝහිත රත්නායක සහ 11 වන සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් ද ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම සමඟින් මෙම සංචාරයන් සඳහා එක්වූහ.