Header

Sri Lanka Army

Defender of the Nation

25th November 2022 19:13:52 Hours

51 වන සේනාංයේ මූලිකත්වයෙන් යාපනය ප්‍රදේශයේ සිවිල් ක්‍රීඩා සමාජ අතර ක්‍රිකට් සහ පාපන්දු තරඟාවලියක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් මහේන්ද්‍ර ප්‍රනාන්දුගේ උපදෙස් මත එම සේනාංකයේ භටපිරිස් විසින් ප්‍රදේශයේ සිවිල් ජනතාව සහ යුද්ධ හමුදාව අතර ඇති සහයෝගීත්වය වර්ධනය කිරීමේ අරමුණින් යාපනය ප්‍රදේශයේ සිවිල් ක්‍රීඩා සමාජ අතර ක්‍රිකට් සහ පාපන්දු තරඟාවලියක් පසුගිය ඉරිදා (20) දින කෝපායි හි ‘CIMIC’ උද්‍යානයේ දී සංවිධානය කරන ලදී.

අවසන් මහා තරඟය නැරඹීම සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ 51 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන් සමගින් මාණ්ඩලික නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක්ද සහභාගී වූ අතර, ප්‍රදේශයේ ක්‍රිඩා ලෝලි සිවිල් වැසියන් විශාල පිරිසක්ද දැඩි උද්යෝගයකින් යුතුව එම අවස්ථාවට එක් වූහ.

තරඟාවලිය අවසානයේදී ඒ වෙනුවෙන් සහභාගි වූ ක්‍රිකට් හා පාපන්දු කණ්ඩායම් වෙත සහතිකපත්‍ර බෙදා දීම සඳහා මේජර් ජෙනරල් මහේන්ද්‍ර ප්‍රනාන්දු සහභාගී විය. එහිදී එතුමන් රැස්ව සිටි ක්‍රීඩකයින් ඇතුළු පිරිස අමතමින් මීළඟ තරඟාවලිය වඩාත් උසස් අන්දමින් සංවිධානය කිරීමට තමා කටයුතු සූදානම් කරන බවටද සඳහන් කළේය.