25th November 2022 19:21:43 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සටන්කාමී පාබල රෙජිමේන්තුවක් වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව මාතෘභූමියේ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම උදෙසා සිය ජීවිත පරිත්‍යාග කල නිලධාරීන් 144 දෙනෙකු සහ සෙසුනිලයින් 3720 දෙනෙකු ගුණානුස්මරණය කිරීමේ පුන්යෝත්සවය අඛණ්ඩව 30 වන වරටත් නොවැම්බර් මස 19 -20 යන දිනයන්හීදී අඹේපුස්ස පිහිටි ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මූලස්ථානයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අධිපති මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධනගේ උපදෙස් මත අප මාතෘ භූමියට තිරසාර සාමය ගෙන ඒමට සිය ජීවිත පරිත්‍යාගයෙන් අමිල කැපකීරීමක් සිදුකල ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ වීරෝදාර රණවිරුවන් සිහිපත් කිරීම සඳහා ඔවුන් වෙනුවෙන් ලබාදෙන ඉහළම ගෞරවය පිරිනැමීමේ අරමුණින් එම වීරෝදාර රණවිරුවන්ගේ පවුලේ සාමාජිකයන්ගේද සහභාගීත්වයෙන් සර්ව ආගමික වතාවත් සහ රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පිරිනැමීමේ වැඩසටහනක් එහිදී පවත්වනු ලැබූහ.
මෙම උත්සවයට සමගාමීව සර්වරාත්‍රික පිරිත් සජ්ඣායනාවකින් අනතුරුව මහා සංඝරත්නය 66 නමක් උදෙසා පිරිනමන ලද හීල් දානමය පිංකමක් සිදුකරන ලද අතර, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ‘නිර්භීත, වේගවත්’ ආදර්ශ පාඨය පෙරදැරිව නිර්භිතව යුධ බිමේදී දිවිපිදූ රණවිරුවන් වෙත පිං අනුමෝදනා කරන ලදී. අනතුරුව මවුබිමේ ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාව සහ සාමය සුරකීම සඳහා දිවිපිදූ තම ආදරණීයන්ගේ මව්වරුන්, පියවරුන්, භාර්යාවන්, දරුවන් ඇතුළු ඥාතීන් එක්ව දිවිපිදූ රණවිරුවන් සිහිපත් කිරීම සඳහා බියුගල් නලාකරුවන්ගේ බියුගල් නාදයත් සමඟ උත්සවයේ සමාරම්භය සනිටුහන් කළේය.
මව්බිම වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් එම උත්සව අවස්ථාවට සම්බන්ධ වූ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ වීරෝදාර රණවිරුවන්ගේ දූ පුතුන්, මව්වරුන් සහ බිරින්දෑවරුන් තම ආදරණියන් සිහිකරන ලද මොහොත ඉතා සංවේදී ජනක දර්ශණයක් විය. ඉන් අනතුරුව හිරු නැගෙනා මොහොතේදිත් හිරු බසිනා මොහොතේදිත් රට වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන් වෙනුවෙන් හමුදා සම්ප්‍රදායානුකුලව වැයෙන යුද්ධ හමුදා තුර්යවාදක බියුගල් නලාකරුවන්ගේ අවර රණවිරු අනුස්මරණ බියුගල් නාදය ගුවනට මුසුවීමත් සමඟින් උත්සවයේ සමාප්තිය සනිටුහන් විය.
මෙම රණවිරු සැමරුම් උත්සව අවස්ථාව ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසකගේ සහභාගීත්වයෙන් වඩාත් වර්ණවත් විය.