15th November 2022 19:37:49 Hours
පොලොන්නරුව - හබරණ ප්‍රධාන මාර්ගයේ ගිරිතලේ ප්‍රදේශයේ පිහිටි 2 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා මූලස්ථානයට යාබදව පිහිටි අවුකන බුද්ධ ප්‍රතිමා අනුරුව අසල රාජකාරියේ නියුතුව සිටි යුද්ධ හමුදා කෝප්‍රල්වරයෙකු තම වෘත්තීය අවංකභාවය පිළිබිඹූ කරමින් ඔහුට හමු වූ විදේශීය සංචාරක කාන්තාවකට අයත් අස්ථානගතව තිබූ රුපියල් ලක්‍ෂ 7 ක වටිනාකමකින් යුත් විදේශ මුදල්, ‘Canon’ වර්ගයේ කැමරාවක්, විදේශ ගමන් බලපත්‍රයක්, දුරකථන ආරෝපකයක් (power bank) සහ ATM කාඩ්පත් අඩංගු අත්බෑගයක් පසුගිය ඉරිදා (13) දින එම විදේශීය කාන්තාව වෙත ආපසු භාරදීමට කටයුතු කළේය.
ශ්‍රී ලංකාවේ සංචාරයේ නිරතව සිටි පේරු ජාතික කායෝ චාම්බි ජැක්ලින් ස්ලින්ඩා මෙනවියගේ (Ms Kayo Chambi Jacklin Slinda) මුදල් සහ වෙනත් වටිනා උපකරණ සහිත අත්බෑගය 2 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කෝප්‍රල් එන්.ඊ.ඩී.පී. නානායක්කාර වෙත හමුවීමෙන් අනතුරුව ඔහු විසින් එම ඒකක මූලස්ථානය වෙත භාරදීමට කඩිනමින් පියවර ගෙන තිබිණි.
2 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ අණදෙන නිලධාරී මේජර් එන්.පී.ඊ.එන්. නේරංගම විසින් අස්ථානගතව තිබූ බෑගයේ හිමිකාරිනිය පිළිබඳ සොයාගැනීමෙන් අනතුරුව එය ලබාගැනීම සඳහා කඳවුරු මූලස්ථානය වෙත පැමිණෙන ලෙස ඇය වෙත දැනුම් දී තිබිණි.
අනතුරුව, කඳවුරු මූලස්ථානය වෙත පැමිණි විදේශීය කාන්තාව සියළුම වටිනා උපකරණ සමඟ ඇයගේ අත්බෑගය නැවත ලබාදීම පිළිබඳ කෝප්‍රල් එන්.ඊ.ඩී.පී. නානායක්කාර වෙත සිය කෘතඥතාවය පල කළාය. යුද්ධ හමුදා කෝප්‍රල්වරයාගේ එම සත්ක්‍රියාවෙන් උද්දාමයට පත් කායෝ චාම්බි ජැක්ලින් ස්ලින්ඩා මෙනවිය ඔහුගේ ආදර්ශවත් ක්‍රියාකලාපය ප්‍රශංසාවට ලක්කළ අතර සිය නිවාඩුව ගතකිරීම සඳහා ඇය ශ්‍රී ලංකාවට පැමිණි බවත් ඇයගේ විදේශ ගමන් බලපත්‍රය, මුදල් සහ වටිනාකමකින් යුත් අනෙකුත් සියලු දෑ අස්ථානගතවූවේනම් මහත් අපහසුතාවයකට පත්වීමට ඇයට සිදුවිය හැකිව තිබූ බව ද පැවසුවාය.
2 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ අණදෙන නිලධාරිතුමන් විසින් එම අත්බෑගය කෝප්‍රල් එන්.ඊ.ඩී.පී. නානායක්කාර ඉදිරියේ ඇය වෙත ආපසු ලබාදීමට කටයුතු කරනු ලැබීය.