12th November 2022 10:54:55 Hours
දශක තුනකට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන යුධෝපකරණ අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් ජී.කේ.අයි. විතානාච්චි ඒටීඕ සිය පවුලේ සාමාජිකයන් සමගින් යුද්ධ හමුදා මුලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ හමුවූ අතර, එහිදී එතුමන් වෙත යුද්ධ හමුදාධිපතිතුමන් විසින් සිය සුභාශිංසනයන් පිරිනමන ලදී.
මෙම සුහද හමුවේදී, වසර 33 කට අධික ආදර්ශමත් සේවා කාලයක් සපුරාලමින් විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් ජී.කේ.අයි. විතානාච්චි ඒටීඕ භඨකාර්ය සම්පාදන නිලධාරියෙකු වශයෙන් යුද්ධ හමුදාව වෙනුවෙන් සිදුකළ සේවය සහ කැපවීම යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට ලක්විය.
වර්ෂ 2009 මැයි මාසයට පෙර ත්‍රස්තවාදයට එරෙහිව පැවති මානුෂීය මෙහෙයුමේ අවසන් අදියරේදී මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් සිදුකරනු ලැබූ නිර්භීත සහ ආදර්ශමත් සේවය පිළිබඳව ද මතකයන් මෙම සුහද හමුවේදී යුද්ධ හමුදාධිපතිතුමන් විසින් යළි ආවර්ජනය කරන ලදී.
මෙම අවස්ථාවට සහභාගී වූ මේජර් ජෙනරල් ජී.කේ.අයි. විතානාච්චි ඒටීඕ ගේ පවුලේ සාමාජිකයන් යුද්ධ හමුදාධිපතිතුමන් සමඟ සුහද පිළිසදරක නිරත විය. එහිදී, විශ්‍රාම දිවියට එළඹෙන මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් මානුෂීය මෙහෙයුමේදී සහ අනෙකුත් රාජකාරි අවස්ථාවන්හිදී සිය රාජකාරි කටයුතු නිසි අයුරින් ඉටුකිරීම සඳහා ලබාදුන් සහයෝගය වෙනුවෙන් පවුලේ සාමාජිකයින් වෙත ස්තූතිය පුදකරමින් එතුමන්ගේ අනාගත සැලසුම් වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් සුභාශිංසනයන්ද එක්කළේය.
මෙම සුහද හමුවේදී, මේජර් ජෙනරල් ජී.කේ.අයි. විතානාච්චි ඒටීඕ සිය අදහස් දක්වමින් තම වෘත්තීය ජීවිතය තුළදී යුද්ධ හමුදාධිපතිතුමන් ලබාදුන් සහයෝගය, මගපෙන්වීම, උපදෙස්, දිරිගැන්වීම් සහ සුබපැතුම් වෙනුවෙන්ද සිය ස්තූතිය පුදකරන ලදී.
අනතුරුව, ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් මේජර් ජෙනරල් ජී.කේ.අයි. විතානාච්චි ඒටීඕ වෙත විශේෂ සමරු තිළිණයක් සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයන් වෙත විශේෂ ත්‍යාගයක් ද ප්‍රදානය කරන ලදී.
වර්ෂ 1987 ජුලි මස 14 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට බැඳුනු මේජර් ජෙනරල් ජී.කේ.අයි. විතානාච්චි ඒටීඕ කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 32 යටතේ ශ්‍රී ලංකා හමුදා විද්‍යාපීඨය තුලින් මූලික හමුදා පුහුණුව සාර්ථකව හැදෑරීමෙන් අනතුරුව දෙවන ලුතිනන්වරයෙකු ලෙස අධිකාරියට පත්ව ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායට අනුයුක්ත කෙරිණි. යුදධ හමුදා සේවයට එක්වීමෙන් අනතුරුව ක්‍රමක්‍රමයෙන් උසස්වීම් ලද මේජර් ජෙනරල් ජී.කේ.අයි. විතානාච්චි ඒටීඕ වර්ෂ 2022 අගෝස්තු මස 03 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය.
විශ්‍රාම දිවියට එළඹෙන විට එතුමන් යුධෝපකරණ අධ්‍යක්‍ෂ ජෙනරාල් ධූරය හෙබවූවේය. මීට ප්‍රථම එතුමන් ඛණ්ඩභාර නිලධාරි, නිලධාරී අණදෙන, විධායක අධිකාරී, ජ්‍යෙෂ්ඨ තොග පාලන නිලධාරී, යුධෝපකරණ සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරි I, ඒකක අණදෙන නිලධාරී, මධ්‍යම අවි හා පතුරොම් ගබඩාවේ මධ්‍යස්ථාන සේනාවිධායක සහ ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම බ්‍රිගේඩියර් පාලන හා භඨකාර්ය සම්පාදන වැනි ධූරයන් හොබවා ඇත.