11th November 2022 19:16:35 Hours
විශ්‍රාම දිවියට එළඹෙන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේ සමස්ථ ආරක්‍ෂක සම්බන්ධීකරණ නිලධාරි, ගජබා රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් එල්.පී.කේ.සී. විජේතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී සිය පවුලේ සාමාජිකයන් සමගින් පසුගිය බ්‍රහස්පතින්දා (10) දින යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ හමුවිය.
33 වසරකට ආසන්න කීර්තිමත් සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් එල්.පී.කේ.සී. විජේතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී වෙත යුද්ධ හමුදාධිපතිතුමන් විසින් සිය සුභාශිංසනයන් එක්කල අතර, යුද්ධ හමුදාව වෙනුවෙන් එම ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් සිදුකරනු ලැබූ අමිල මෙහෙවර ඇගයීමටද ලක්කරන ලදී.
වර්ෂ 2009 මැයි මාසයට පෙර ත්‍රස්තවාදයට එරෙහිව පැවති මානුෂීය මෙහෙයුමේ අවසන් අදියරේදී පාබල හමුදා නිලධාරියෙකු වශයෙන් මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් සිදුකරනු ලැබූ නිර්භීත සේවය පිළිබඳව ද මතකයන් යළි ආවර්ජනය කිරීමද යුද්ධ හමුදාධිපතිතුමන් අතින් සිදුවිය. එහිදී යුද්ධ හමුදාධිපතිතුමන් විසින් මේජර් ජෙනරල් එල්.පී.කේ.සී. විජේතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ පවුලේ සාමාජිකයන් සමඟ පැවති සුහද අදහස් හුවමාරුවේදී විශ්‍රාම දිවියට එළඹෙන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ අනාගත බලාපොරොත්තු පිළිබඳව ද විමසන සුහද පිළිසදරක යෙදෙන ලදී.
මෙම සුහද හමුවේදී, මේජර් ජෙනරල් එල්.පී.කේ.සී. විජේතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී අදහස් දක්වමින් තම වෘත්තීය ජීවිතය තුළ දී යුද්ධ හමුදාධිපතිතුමන් ලබාදුන් සහයෝගය, මගපෙන්වීම, උපදෙස්, දිරිගැන්වීම් සහ සුබපැතුම් වෙනුවෙන්ද සිය ස්තූතීය පුදකරන ලදී. සුහද හමුව සමාප්තියේ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් තත් ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.
මේජර් ජෙනරල් එල්.පී.කේ.සී. විජේතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් වසර 33 ක කීර්තිමත් සේවා කාලය තුලදී කණ්ඩ භාර නිලධාරී, බුද්ධි නිලධාරි, විධායක අධිකාරි, කණ්ඩායම් භාර නිලධාරී, බලසේනා මේජර්, ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 1 (මෙහෙයුම්), අණදෙන නිලධාරී, ජ්‍යෙෂ්ඨ ආරක්‍ෂක සම්බන්ධීකරණ නිලධාරී, කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී, නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක, 211 වන සහ 141 වන බලසේනාවන්හි බලසේනාධිපති, ගමන් පාලන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂක සහ සමස්ථ ආරක්‍ෂක සම්බන්ධීකරණ නිළධාරී වැනි ධූරයන් ද හොබවා ඇත.
මේජර් ජෙනරල් එල්.පී.කේ.සී. විජේතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී වර්ෂ 1989 ජනවාරි 20 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට බැඳී දියතලාව යුද්ධ හමුදා විද්‍යා පීඨයෙන් සහ පාකිස්ථාන යුද්ධ හමුදා විද්‍යා පීඨයෙන් හමුදා පුහුණුව සාර්ථකව නිම කිරීමෙන් පසුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලසේනාවේ දෙවන ලුතිනන්වරයෙකු ලෙස අධිකාරියට පත්ව වර්ෂ 1990 ඔක්තෝබර් 05 දින ගජබා රෙජිමේන්තුවට අනුයුක්ත කෙරිණි. මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් ක්‍රමානුකූලව උසස්වීම් ලබමින් වර්ෂ 2022 පෙබරවාරි 04 මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය.
මේජර් ජෙනරල් එල්.පී.කේ.සී. විජේතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ කීර්තිමත් සේවා කාලය තුළදී යුද බිමේ දැක්වූ නිර්භීතභාවය වෙනුවෙන් ‘රණ වික්‍රම පදක්කම’ සහ ‘රණ ශූර පදක්කම’ හිමිකරගෙන ඇත.