Header

Sri Lanka Army

Defender of the Nation

09th November 2022 20:29:35 Hours

විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් එම්.කේ සමන්ත සිල්වා ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

යුද්ධ හමුදාවේ 35 වසරකට ආසන්න කීර්තිමත් සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම සහ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ බලකාධිපති, මේජර් ජෙනරල් එම්.කේ සමන්ත සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී සිය පවුලේ සාමාජිකයන් සමගින් පසුගිය බදාදා (09) දින යුද්ධ හමුදා මුලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ හමුවිය.

වර්ෂ 2009 මැයි මාසයට පෙර ත්‍රස්තවාදයට එරෙහිව පැවති මානුෂීය මෙහෙයුමේ අවසන් අදියරේදී විශ්‍රාම දිවියට පා තබන මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් සිදුකරනු ලැබූ නිර්භීත සහ ආදර්ශමත් සේවය පිළිබඳව ද මතකයන් මෙම සුහද හමුවේදී යළි ආවර්ජනය කරන ලදී.

මෙම සුහද හමුවේදී, මේජර් ජෙනරල් එම්.කේ.එස් සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී යුද්ධ හමුදාධිපතිතුමන් විසින් සිදුකරනු ලැබූ ආරාධනයට සහ ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම ලෙස සිය ධූරයේ රාජකාරි සිදුකල කාලසීමාව තුලදී යුද්ධ හමුදාධිපතිතුමන් ලබාදුන් සහයෝගය සහ මඟපෙන්වීම වෙනුවෙන් ද සිය කෘතඥතාවය පළකරන ලදී.

මෙම අවස්ථාවට සහභාගී වූ මේජර් ජෙනරල් එම්.කේ.එස් සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී ගේ පවුලේ සාමාජිකයන් යුද්ධ හමුදාධිපතිතුමන් සමඟ සුහද පිලිසදරක නිරත විය. එහිදී, විශ්‍රාම දිවියට පා තබන මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් මානුෂීය මෙහෙයුමේදී සහ අනෙකුත් රාජකාරි අවස්ථාවන්හිදී සිය රාජකාරි කටයුතු නිසි අයුරින් ඉටුකිරීම සඳහා ලබාදුන් සහයෝගය වෙනුවෙන් පවුලේ සාමාජිකයින් වෙත ස්තූතිය පුදකරමින් එතුමන්ගේ අනාගත සැලසුම් වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් සුභාශිංසනයන්ද එක්කළේය.

එහිදී, ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් එම්.කේ.එස් සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී වෙත විශේෂ සමරු තිළිණයක් සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයන් වෙත විශේෂ ත්‍යාගයක්ද ප්‍රදානය කරන ලදී.

මේජර් ජෙනරල් එම්.කේ.එස් සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී වර්ෂ 1987 මාර්තු මස 16 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට බැඳී කෙඩෙට් නිලධාරී පාඨමාලා අංක 27 සාර්ථකව නිම කිරීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලකායේ දෙවන ලුතිනන්වරයෙකු ලෙස අධිකාරියට පත්ව ශ්‍රී ලංකා යුද්ධ හමුදා සන්නාහ සන්නද්ධ බලකායට අනුයුක්ත කෙරිණි. මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් ක්‍රමානුකූලව උසස්වීම් ලබමින් වර්ෂ 2020 ඔක්තෝබර් මස 01 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය.

විශ්‍රාම දිවියට පා තබන විට ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම ධූරය හොබවමින් සිටි මේජර් ජෙනරල් එම්.කේ.එස් සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී රැළි නිලධාරි, බලඝණ අණදෙන නිලධාරී, නිලධාරී අණදෙන, අණදෙන නිලධාරී, කලාප අණදෙන නිලධාරී, බලසේනාධිපති, ජ්‍යෙෂ්ඨ සම්බන්ධීකාරක, සන්නාහ සන්නද්ධ බලසේනාවේ බලසේනාධිපති, යුද්ධ හමුදා මූලස්ථානයේ ආධුනිකයින් බඳවාගැනීමේ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ, සේනාංකාධිපති සහ ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර වැනි ධූරයන් ද හොබවා ඇත.

මේජර් ජෙනරල් එම්.කේ.එස් සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී ගේ කීර්තිමත් සේවා කාලය තුළදී යුද බිමේ දැක්වූ නිර්භීතභාවය වෙනුවෙන් ‘රණ වික්‍රම පදක්කම’ සහ ‘රණ ශූර පදක්කම’ හිමිකරගෙන ඇත.