Header

Sri Lanka Army

Defender of the Nation

31st October 2022 20:19:31 Hours

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සම්බන්ධීකරණයෙන් යුද්ධ හමුදා මූලස්ථානයේ සිවිල් සේවක මහතුන් වෙත වියළි සලාක පාර්සල්

යුද්ධ හමුදා මූලස්ථානයෙහි ස්ථාපිත අධ්‍යක්‍ෂ මණ්ඩල සහ ආයතනයන්හි රාජකාරියෙහි නියුතු සිවිල් සේවක මහත්ම මහත්මීන් වෙත වියළි සලාක පාර්සල් ලබාදීමේ කෙටි උත්සවයක් යුද්ධ හමුදා සේවා වනිතා ඒකක කාර්යාලයේදී ඔක්තෝබර් 31 දින පැවැත්විණි. ඒ අනුව හමුදාධිපති ලේකම් කාර්යාලය, කළමනාකරණ හා නඩත්තු අධ්‍යක්‍ෂ මණ්ඩලය, පාලන හා උත්සව බලඇණිය, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය සහ නිලධාරී නිවස්නයෙහි සේවයේ නියුතු තෝරාගත් සිවිල් සේවක මහත්ම මහත්මීන් පනස් දෙනෙකු වෙත එම වියළි සලාක පාර්සල් බෙදා දෙනු ලැබිණි.

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී ජානකී ලියනගේ මැතිණිය විසින් සිදුකරනු ලැබූ ඉල්ලීමකට අනුව කොළඹ කොටස් වෙළෙඳපොල විසින් එම වියලි සලාක පාර්සල් තොගය සඳහා මූල්‍ය අනුග්‍රහකත්වය ලබාදෙන ලදී. ප්‍රතිලාභීන් වෙත එම වියළි සලාක පාර්සල් බෙදාදීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සහභාගී වූ අතර, ජානකී ලියනගේ මැතිණිය සහ අනුග්‍රාහක භවතුන්ද එම සලාක පාර්සල් බෙදාදීමේ අවස්ථාව සඳහා එක්වූහ.

මෙම අවස්ථාවට කොළඹ කොටස් වෙළෙඳ පොලෙහි ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතා, ජ්‍යෙෂ්ඨ නියාමන නිලධාරී රේණුක විජේවර්ධන මහතා, ජ්‍යෙෂ්ඨ සහකාර කළමනාකාර සුරාජ් ඔබේසේකර මහතා සහ නිලධාරිනී ශෂිනි සුවාරිස් මහත්මිය, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ කර්නල් සම්බන්ධීකරන නිලධාරී කර්නල් නලින්ද්‍ර මහවිතාන ඇතුළු පිරිසක් සහභාගී වූහ.

එහිදී, යුද්ධ හමුදාධිපතිතුමන් සහ ජානකී ලියනගේ මැතිණිය විසින් අනුග්‍රාහක භවතුන් සමග සුහදව අදහස් හුවමාරු කරගත් අතර, යුද්ධ හමුදා සිවිල් සාමාජිකයන් වෙනුවෙන් සිදුකරනු ලැබූ මෙම සත්කාරක වැඩසටහන වෙනුවෙන් ස්තුතිය පුද කරනු ලැබූහ.