31st October 2022 10:54:46 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ හිටපු යුද්ධ හමුදාධිපති මෙන්ම වත්මන් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත හමුදා සම්ප්‍රදායානුකූලව කෘතවේදීත්වය පුදකිරීම වෙනුවෙන් පසුගිය ඉරිදා (23) දින කොළඹ, හිල්ටන් හෝටල් පරිශ්‍රයේදී උත්සවයක් පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා සපැමිණි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ හිටපු සභාපතිනි සුජිවා නෙල්සන් මැතිණිය, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ වත්මන් සභාපතිනි ජානකී ලියනගේ මැතිණිය විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
ගජබා රෙජිමේන්තුවෙන් බිහි වූ කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වසර 39 කට අධික කිර්තිමත් සේවා කාලයක් සම්පූර්ණ කළ යුද්ධ හමුදාවේ වැඩිම පදක්කම් සංඛ්‍යාවක් හිමිකරගත් ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වේ. වර්ෂ 2022 මැයි මස 31 දින ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ධූරයේ රාජකාරි භාරගැනීම සඳහා එතුමන් යුද්ධ හමුදාධිපති ධූරයෙන් නික්ම ගියේය.
යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් හා එම මැතිණියන්, සියලුම රෙජිමේන්තු සහ දිවයින පුරා ස්ථාපිත කඳවුරු නියෝජනය කරමින් යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම සමුගැනීමේ උත්සවය වෙත සපැමිණි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ සුජීවා නෙල්සන් මැතිණිය යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සහ ජානකී ලියනගේ මැතිණිය විසින් පිළිගැනීමෙන් අනතුරුව බැග් පයිපස් නලාකරුවන් පෙරටු කරගනිමින් ප්‍රධාන ශාලාව වෙත කැටුව යන ලදී.
ඉන් අනතුරුව, ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පිළිබඳ සැකසුනු කෙටි වීඩියෝ දර්ශන පටයක් ප්‍රදර්ශණය කරනු ලැබීය. පසුව, යුද්ධ හමුදාධිපතිතුමන් පැමිණ සිටි පිරිස අමතමින්, ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගජබා රෙජිමේන්තුවේ කීර්තිමත් සාමාජිකයෙකු වශයෙන් යුද පිටියේ දැක්වූ රණකාමීත්වය ඇතුළු සියලුම භූමිකාවන් ඇගයීමට ලක්කල අතර, සුජීවා නෙල්සන් මැතිණිය යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය වශයෙන් ධූරයේ කටයුතු කල කාලයේදී එම ඒකකයේ දියුණුව වෙනුවෙන් සිදුකරන ලද කාර්ය භාර්යයද මෙහිදී පැසසුමට ලක්කරන ලදි. අනතුරුව, ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පැමිණ සිටි පිරිස් අමතමින්, ඉතා අලංකාරවත් සහ ගෞරවාන්විත අයුරින් එවැනි උත්සවයක් පැවැත්වීම වෙනුවෙන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ඇතුළු සියලුම නිලධාරීන්ට සහ සෙසුනිලයන් වෙත සිය කෘතඥතාව පළකළ අතර, එම ජ්‍යෙෂ්ඨ නිලධාරින් සියලුදෙනා අතීතයේ සිදුකළ අභිමානවත් සේවය යලි ආවර්ජනය කරනු ලැබීය. අනතුරුව, ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් යුද්ධ හමුදාවේ සියළුම සාමාජිකයින් වෙත සිය සුභ පැතුම් එක්කරන ලදී. උත්සවය අවසානයේදී යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී වෙත සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.
මෙම උත්සව අවස්ථාව සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ සේනාවිධායක ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු සහභාගී වූහ.