Header

Sri Lanka Army

Defender of the Nation

19th October 2022 18:21:05 Hours

පොපි මල් දිනය සංකේතවත් කරමින් ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සාමාජිකයින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත පොපි මලක් පළඳවයි

නොවැම්බර් මස 11 දිනට යෙදෙන පොපි මල් දිනයට සමගාමීව මානුෂීය මෙහෙයුමේදී දිවිපිදූ සියලුම රණවිරුවන් අනුස්මරණය කරමින් ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සාමාජිකයින් විසින් අද (19) දින පස්වරුවේ යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ වෙත පොපි මලක් පැළඳවීය.

ඒ අනුව, එළඹෙන පොපි මල් දිනය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ උප සභාපති මේජර් ජෙනරල් ඊ.එම්.එම්. අඹන්පොල යූඑස්පී (විශ්‍රාමික) විසින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත පොපි මල පළඳවන ලදී.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ ලේකම් ලුතිනන් කර්නල් ඒ.කේ. සියඹලාපිටිය පීඑස්සී එල්එස්සී (විශ්‍රාමික), භාණ්ඩාගාරික මේජර් පී.කේ.සී.එස්. කංකානම්ගේ යූඑස්පී (විශ්‍රාමික) සමඟින් පොපි කමිටුවේ සාමාජිකයන් කිහිපදෙනෙකු ද එක්ව සිටියහ.

මෙම සුහද හමුව අතරතුර, යුද්ධ හමුදාධිපතිතුමන් ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සාමාජිකයින් සමඟින් සුහදව අදහස් හුවමාරු කරගත් අතර, එම සංගමය වෙතින් දැනට ක්‍රියාත්මක කරනු ලබන සුබසාධන ව්‍යාපෘති පිළිබඳව ද විමසා බැලුවේය.

මෙම සුහද හමුව සමාප්තියේ, යුද්ධ හමුදාධිපතිතුමන් ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය වෙත සමරු තිළිණයක් ප්‍රදානය කරමින් එම සංගමය වෙතින් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් ඇගයීමට ලක්කළ අතර එම සංගමයේ ඉදිරි වැඩකටයුතු සඳහා සුබපැතුම් එක් කළේය.

දෙවන ලෝක සංග්‍රාමය අවසන් වීමෙන් අනතුරුව සියලුම පොදුරාජ්‍ය මණ්ඩලීය සාමාජික රටවල් සේවයේ යෙදී සිටියදී දිවිපිදූ හමුදා සාමාජිකයන්ගේ කැපවීම ඇගයීමට ලක්කරමින් සෑම වසරකම නොවැම්බර් මස 11 දිනට යෙදෙන පොපි දිනය සමරනු ලබයි.