Header

Sri Lanka Army

Defender of the Nation

18th October 2022 13:03:12 Hours

යුද්ධ හමුදාවේ සම්පත් ඉතිරි කරමින් කාර්යක්‍ෂමතාව වැඩිදියුණු කිරීමට යුද්ධ හමුදා තොරතුරු තාක්‍ෂණ ජංගම යෙදවුම් පද්ධති හතරක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා තොරතුරු තාක්‍ෂණ අධ්‍යක්‍ෂ මණ්ඩලය වෙතින් අද (17) දින උදෑසන යුද්ධ හමුදා තොරතුරු තාක්‍ෂණ ජංගම යෙදවුම් පද්ධති (Army mobile applications) හතරක් හඳුන්වා දුන් අතර එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සහභාගී විය.

යුද්ධ හමුදා පරිපාලන කටයුතු සඳහා කඩදාසි භාවිතය අවම කරමින් කාර්යක්‍ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත තොරතුරු තාක්‍ෂණ අධ්‍යක්‍ෂ මණ්ඩලය වෙතින් යුද්ධ හමුදා ද්වාරය, ඉන්ධන කළමනාකරණ පද්ධතිය, ප්‍රසම්පාදන ක්‍රියාවලි කළමනාකරණ පද්ධතිය සහ යුද්ධ හමුදාවේ සුමට හා ඵලදායී ක්‍රියාකාරිත්වය වෙනුවෙන් යුද්ධ හමුදා මූලස්ථානය සඳහා වන යෙදවුම් ද්වාරය නම් ජංගම යෙදවුම් පද්ධති හතරක් හඳුන්වාදෙනු ලැබිණි. සම්පත් ඵලදායී හා කාර්යක්‍ෂම අයුරින් භාවිතා කරමින් වත්මන් ආර්ථික අර්බුදයට සාර්ථක විසඳුම් සොයමින් රජයේ ප්‍රයත්නයට ශක්තියක් වීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව දරණ උත්සාහයේ තවත් වැදගත් පියවරක් ලෙස මෙම යෙදවුම් හැඳින්විය හැකියි.

මෙම යුද්ධ හමුදා තොරතුරු තාක්‍ෂණ ජංගම යෙදවුම් පද්ධති භාවිතා කිරීමෙන් සියලුම නිලධාරින් සහ සෙසුනිලයන්ට සිය මාසික වැටුප් පත්‍රිකාව ලබාගැනීම සඳහා වැටුප් හා ලේඛන අධ්‍යක්‍ෂ මණ්ඩලය සමඟ සම්බන්ධ වීමේ පහසුකම පවතී. වැටුප් පත්‍රිකා මුද්‍රණය හා ඒ ආශ්‍රිත අනෙකුත් වියදම් සඳහා වාර්ෂිකව වැයවන රුපියල් මිලියන 5 ක් පමණ වන වියදම් ඉතිරිකරගැනීමේ හැකියාව ද මෙම යෙදවුම තුලින් හිමි වේ. මීට අමතරව, සියලු නිලයන් වෙත ‍යුද්ධ හමුදා යහසාධක අරමුදල පිළිබඳ තොරතුරු දැනගැනීමට, සුබසාධක‍ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සියලු තොරතුරු සහ විමසීම් මෙන්ම වෛද්‍ය වාර්තා ඇතුළු පහසුකම් රැසක් මෙම යෙදවුම් ඔස්සේ ඉටුකරගැනීමේ හැකියාව පවතී.

එමෙන්ම, මෙම යෙදවුම තුලින් ලබාගත හැකි නිවැරදි දත්ත ඔස්සේ සැපයුම් සහ ප්‍රවාහන අධ්‍යක්‍ෂ මණ්ඩලය සඳහා හඳුන්වා දුන් නව ඉන්ධන කළමනාකරණ පද්ධතිය තුලින් ශ්‍රී ලංකා යුද හමුදා සේවා බලකාය වෙතින් ක්‍රියාත්මක කරනු ලබන ඉන්ධන මනුකරණය සහ කළමණාකාරිත්වය සබැඳි තීරණයන්ට එළඹීමේ හැකියාව පවතී. තවද, සැපයුම් හා ප්‍රවාහන අධ්‍යක්‍ෂ මණ්ඩලයට කාලීන ගතික වාර්තා, ඉන්ධන භාවිතය පිළිබඳ නිවැරදි වාර්තාවන් මේ තුලින් ලබාගැනීමේ හැකියාව පවතී.

මෙම යුද්ධ හමුදා තොරතුරු තාක්‍ෂණ ජංගම යෙදවුම් පද්ධතිය ඔස්සේ රථවාහන සඳහා ඉන්ධන නිකුත් කිරීමේදී එක් එක් රථයන්ට QR කේතයක් හඳුන්වාදීමට ද අපේක්‍ෂා කෙරේ. ඒ අනුව, ඉන්ධන මනුකරණ ක්‍රියාකරුට මෙම ජංගම යෙදවුම ඔස්සේ QR කේතය සත්‍යාපනය කිරීමෙන් පසු ඉන්ධන නිකුත් කිරීමේ හැකියාව පවතී. එමෙන්ම, සැපයුම් හා ප්‍රවාහන අධ්‍යක්‍ෂ මණ්ඩලය වෙතින් නිකුත් කරනු ලබන ඉන්ධන කූපන්පත් නිකුත් නොකර මෙම යෙදවුම ඔස්සේ ඉන්ධන කෝටාවන් වෙන්කළ හැකි බැවින් ඉන්ධන කූපන්පත් සඳහා වැයවන වාර්ෂික පිරිවැය කළමණාකරනය කරගනිමින් ඉන්ධන ඉතිරිකරගැනීමේ හැකියාව ද පවතී.

ප්‍රසම්පාදන ක්‍රියාවලිය වඩාත් විනිවිදභාවයකින් සහ ඵලදායීව සිදුකිරීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය කළමනාකරණ පද්ධති ජංගම යෙදවුමක් යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් ශාඛාව වෙත හඳුන්වා දී ඇත.මෙම යෙදවුම ඔස්සේ යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් ශාඛාවට සැපයුම්කරුවන් පිළිබඳ තත්‍ය කාලීන වාර්තා ලබාගැනීමේ හැකියාව පවතී.

එමෙන්ම, යුද්ධ හමුදා මූලස්ථානය සඳහා හඳුන්වා දී ඇති යෙදවුම භාවිතා කරමින් තොරතුරු තාක්‍ෂණ අධ්‍යක්‍ෂ මණ්ඩලය ඔස්සේ විවිධ ශාඛා සහ අධ්‍යක්‍ෂ මණ්ඩල සම්බන්ධ කරගැනීමේ හැකියාව පවතී. එක් එක් ආයතන වෙත යෙදවුමක් හදුන්වා දී ශාඛා/ අධ්‍යක්‍ෂ මණ්ඩල ප්‍රධානීන් වෙත පොදු ද්වාරයක් හඳුන්වා දීම කාලෝචිතව සිදුකර ඇති බැවින් ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන් සහ අධ්‍යක්‍ෂවරුන්ට සෑම පද්ධතියක් සඳහාම වගකිවයුතු නිලධාරියෙකු පත් කිරීම මඟින් තම කාර්ය මණ්ඩලයට අවශ්‍ය සියලුම පද්ධති වෙත ප්‍රවේශ වීමේ හැකියාව ඇත.

ප්‍රධාන සංඥා නිලධාරි මේජර් ජෙනරල් එච්.එම්.එල්.ඩී. හේරත් ආර්එස්පී යූඑස්පී පීඑස්සී සහ තොරතුරු තාක්‍ෂණ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ජී.එල්.එස්.ඩබ්ලිව්. ලියනගේ යූඑස්පී පීඑස්සී ගේ අධීක්‍ෂණය යටතේ මෙම සියලුම යෙදවුම් යුද්ධ හමුදා තොරතුරු තාක්‍ෂණ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ තොරතුරු තාක්‍ෂණ විශේෂඥයින් විසින් නිර්මාණය කරන ලදී.

මෙම නව යෙදවුම් හඳුන්වාදීමේ අවස්ථාව සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ටී.ජේ කොඩිතුවක්කු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් ඩී.ජී.එස්. සෙනරත් යාපා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් එක්වූහ.