Header

Sri Lanka Army

Defender of the Nation

19th October 2022 20:05:14 Hours

යුද්ධ හමුදා මූලස්ථානය තුළ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ස්ථාපිත කළ පුස්තකාලය සියලු නිලයන් වෙනුවෙන් විවෘත කෙරේ

නවීන තාක්‍ෂණය පාදක කරගනිමින් යුද්ධ හමුදා සාමාජිකයන්ගේ දැනුම වර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානයේ ස්ථාපිත කළ තාක්‍ෂණික හා මෘදුකාංග පුස්තකාලය අද (17) දින පෙරවරුවේ පැවති විශේෂ උත්සවයකදී යුද්ධ හමුදා සාමාජිකයන්ගේ පරිහරණය සඳහා විවෘත කරනු ලැබීය.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ සංකල්පයකට අනුව ස්ථාපනය කරනු ලැබූ නව පුස්තකාලය ග්‍රන්ථයන් 9000 කට වැඩි ප්‍රමාණයකින් සමන්විත වේ. එය ‘තීරු සංකේත’ (barcoding) සහ ඉලෙක්ට්‍රොනික වර්ගීකරණය සමඟින් ලෝක ප්‍රකට ‘කොහා’ පුස්තකාල කළමනාකරණ පද්ධතිය හඳුන්වාදීමට මූලික වූ ශ්‍රී ලංකා ජාතික පුස්තකාල මණ්ඩලය සමඟ සම්බන්ධතාවයෙන් යුතුව දින 40 ක් වැනි කෙටි කාලයක් තුළ ස්ථාපිත කරනු ලැබීය.

මෙම පුස්තකාලය විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන්, අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් එස්.යූ.එම්.එන්. මානගේ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සි සහ පුහුණු අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ඩී.කේ.එස්.කේ. දොලගේ යූඑස්පී පීඑස්සී විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබූහ.

කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ විද්‍යුත් පුස්තකාලය සමඟ අන්තර්ජාලය ඔස්සේ නොමිලේ ප්‍රවිශ්ඨ විය හැකි ප්‍රවේශයක් සහිත මෙම නව පුස්තකාලය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් සමරු ඵලකය නිරාවරණය කර විවෘත කරනු ලැබීය. ඉන් අනතුරුව, නවීනතම තාක්‍ෂණය මත පදනම්ව ස්ථාපනය කරනු ලැබූ පුස්තකාලය පිළිබඳ මෙම පුස්තකාලයේ පරිපාලන අංශය සහ පරිශීලකයින් දැනුවත් කරනු ලැබීය.

මෙම උත්සවයේ තවත් විශේෂ අවස්ථාවක් වශයෙන් අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික විසින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මෙන්ම යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ටී.ජේ. කොඩිතුවක්කු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් ඩී.ජී.එස්. සෙනරත් යාපා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙක් වෙත නව පුස්තකාලයේ සාමාජික කාඩ්පත් ප්‍රදානය කරන ලදී. ඉන් අනතුරුව, පුහුණු අධ්‍යක්‍ෂ විසින් මෙම අවස්ථාවට සහභාගී වූ අනෙකුත් සියළුම ජ්‍යෙෂ්ඨ නිලධාරින් වෙත සංකේතාත්මකව නව පුස්තකාලයේ සාමාජිකත්වය ලබාදුන්නේය.

යුද්ධ හමුදා මූලස්ථානය වෙතින් සිදුකරනු ලැබූ මෙම ව්‍යාපෘතිය පිළිබඳ පැහැදීමට පත් MAS Slimtex ආයතනයේ සාමාන්‍යාධිකාරී උදාර විජයසුන්දර මහතා විසින් යුද්ධ හමුදා පුස්තකාලය වෙත විශාල පොත් කට්ටලයක් පරිත්‍යාග කරනු ලැබීය. ඒ පිළිබඳ, කෘතඥතාවය පුදකරමින් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් උදාර විජයසුන්දර මහතා වෙත විශේෂ සමරු තිළිණයක් ද ප්‍රදානය කළේය.

ඉන් අනතුරුව, ජාතික පුස්තකාල සහ ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති නන්ද ධර්මරත්න මහතාගේ විශේෂඥ මඟපෙන්වීම මත යුද්ධ හමුදා පුස්තකාලයේ සමස්ත ක්‍රියාකාරකම් ඩිජිටල්කරණය කරනු ලැබූ ‘කොහා’ පුස්තකාල කළමනාකරණ පද්ධතිය පිළිබඳ හඳුන්වාදීමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් එතුමන් වෙත විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කළේය.

ඉන් අනතුරුව, ප්‍රධාන සංඥා නිලධාරි කාර්යාලය, පුහුණු අධ්‍යක්‍ෂ මණ්ඩලය, ක්‍රියාන්විත අධ්‍යක්‍ෂ මණ්ඩලය, තොරතුරු තාක්‍ෂණ අධ්‍යක්‍ෂ මණ්ඩලය, යුධෝපකරණ සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලය, සැපයුම් හා ප්‍රවාහන අධ්‍යක්‍ෂ මණ්ඩලය, ඉංජිනේරු සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලය, විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ මණ්ඩලය සහ නඩත්තු හා කළමනාකරණ අධ්‍යක්‍ෂ මණ්ඩලය එක්ව සාමූහිකව සිදුකරනු ලැබූ මෙම නව ව්‍යාපෘතිය පිළිබඳ ඉතා ඕනෑකමින් යුක්තව සොයාබලමින් යුද්ධ හමුදාධිපතිතුමන් එම පුස්තකාල පරිශ්‍රය නිරීක්‍ෂණය කරනු ලැබීය.

ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයේ ස්ථාපිත නව පුස්තකාල පරිශ්‍රය සියලුම නිලයන් සහ සිවිල් කාර්ය මණ්ඩල සාමාජිකයින් සඳහා සතියේ දින පහ පුරාවට විවෘතව පවතින අතර පුස්තකාල පරිශීලකයින් වෙත ඩිජිටල්කරණ පිටපත්, විෂයානුබද්ධ මූලාශ්‍ර, නොමිලේ Wifi පහසුකම, ඡායා පිටපත් ආදී පහසුකම් සපයනු ලබයි.