16th October 2022 08:45:29 Hours
මේ දින වල පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇද හැලෙන අධික වර්ෂාපතනයත් සමඟ ඇති වූ නාය යෑම් සහ ගංවතුර තත්ත්වයන් හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක ජනතාව දැඩි පීඩාවට ලක්ව සිටින බැවින්, එවැනි ඕනෑම හදිසි ආපදා තත්ත්වයකට මුහුණ දීම සඳහා යුද්ධ හමුදා භටපිරිස් සූදානමින් තබන ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් අදාල අංශ වෙත උපදෙස් ලබාදී ඇත.
ඒ අනුව, 14 වන සේනාංකයේ 141 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 8 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් මාබිම බටහිර, මාබිම නැගෙනහිර, පට්ටිවිල, යටවත්ත සහ දියගම යන ප්‍රදේශ වල ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් විපතට පත් පවුල් 100ක් පමණ පිරිසක් පසුගිය සෙනසුරාදා (15) දින ආරක්‍ෂිත ස්ථාන කරා රැගෙන යාමට සමත් වූහ. එහිදී, 11 දෙනෙකුගෙන් සමන්විත යුද්ධ හමුදාවේ ගලවා ගැනීමේ කණ්ඩායම් සාමාජිකයන් විසින් යුද්ධ හමුදා බෝට්ටු මගින් ඔවුන් ආරක්‍ෂිතව ළඟම ඇති විහාරස්ථාන සහ පොදු ස්ථාන වෙත තාවකාලිකව නවාතැන් ලබාදීම සඳහා රැගෙන යන ලදී.
තවද, මාබිම බටහිර, මාබිම නැගෙනහිර, පට්ටිවිල, යටවත්ත සහ දියගම යන ප්‍රදේශයන්හි ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් එම ප්‍රදේශ වල සමාන්‍ය ජන ජීවිතය අඩාල වූ සිවිල් වැසියන්ට ඔවුන්ගේ එම කටයුතු කරගෙන යාමට අවශ්‍ය සහාය ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 වන වන සේනාංකයේ 141 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 8 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් ලබාදෙන ලදී.
කොළොන්නාව පොදු ක්‍රීඩාංගණය අසල ගසක් කඩා වැටීම හේතුවෙන් ප්‍රදේශයේ ගමනාගමනයට මහත් බාධාවක් ඇති වී තිබූ බැවින්, බටහිර ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන්ගේ උපදෙස් මත 14 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන් සහ 144 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්‍ෂණය මත 144 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් පසුගිය සෙනසුරාදා (15) දින නගර සභා සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලයේද සහාය ඇතිව එම ගස කපා ඉවත්කර ප්‍රදේශයේ ගමනාගමන කටයුතු යථා තත්ත්වයට පත්කරන ලදී.
මේ අතර, පාර්ලිමේන්තුවේ වේත්‍රධාරීවරයාගේ ඉල්ලීම මත 14 වන සේනාංකයට අයත් 144 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 18 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් විසින් දියවන්නා ඔයේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බැවින් පාර්ලිමේන්තු සංකීර්ණයේ පිවිසුම් මාර්ගය යටවීම මෙන්ම එහි බිම් මහලට ජලය කාන්දු වීම වැළැක්වීම සඳහා වැලි කොට්ට අතුරා අවශ්‍ය ආරක්‍ෂිත ක්‍රියාමාර්ග ගනු ලැබිණි.
තවද, අධික වර්ෂාපතනයත් සමඟ ඇති වූ තද සුළං තත්ත්වය හේතුවෙන් පසුගිය සිකුරාදා (14) දින සවස කොළඹ - නෙළුම් පොකුණ මහින්ද රාජපක්‍ෂ රඟහල ඉදිරිපිට ඇති සී.ඩබ්ලිව්.බඩ්ලිව් කන්නන්ගර මාර්ගයට ගසක් කඩා වැටීම නිසා ප්‍රදේශයේ ගමනාගමනයට මහත් බාධාක් ඇති වී තිබූ බැවින්, 142 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ උපදෙස් මත 24 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් කොළඹ මහ නගර සභාවේ කාර්ය මණ්ඩලයේද සහයෝගය ඇතිව එම ගස කපා ඉවත් කර මාර්ගයද පිරිසිදු කර ප්‍රදේශයේ ගමනාගමන කටයුතු යථා තත්ත්වයට පත්කරන ලදී.
මීට අමතරව, අඟුරුවැල්ල, තුඹලියද්ද ප්‍රදේශයේ පස්කන්දක් නාය යෑමෙන් විපතට පත්වූවන් ගලවා ගැනීමේ මෙහෙයුම සහ පසු විපරම් මෙහෙයුම් ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ නිලධාරීන්ගේ සහ අනෙකුත් නිලධාරීන් සමඟ සම්බන්ධතාවයෙන් යුතුව සාර්ථකව අවසන් කරන ලදී.