Header

Sri Lanka Army

Defender of the Nation

14th October 2022 15:31:03 Hours

ගජබා රෙජිමේන්තුවේ 39 වැනි සංවත්සර සැමරුම් දිනයට සමගාමීව මාතෘභූමිය වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන් සිහිපත් කෙරේ

ගජබා රෙජිමේන්තුවේ අභිමානවත් 39 වැනි සංවත්සර දිනය මෙම මස සිකුරාදා (14) දිනට යෙදී ඇති අතර, ඊට සමගාමීව මවුබිමේ ඒකීයභාවය වෙනුවෙන් එම රෙජිමේන්තුවේ දිවිපිදූ වීරෝදාර රණවිරුවන්ගේ අමිල මෙහෙවර සිහිපත් කිරීමේ රණවිරු අනුස්මරණ උත්සවය සාලියපුර ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථාන රණවිරු ස්මාරකය අභියසදී පසුගිය බ්‍රහස්පතින්දා (13) දින යුද්ධ හමුදාධිපති සහ ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ ප්‍රධානත්වයෙන් උත්කර්ෂවත් අයුරින් පවත්වන ලද අතර, එම උත්සව අවස්ථාව සඳහා ගජබා රෙජිමේන්තුවේ නිර්මාතෘ වන දිවංගත මේජර් ජෙනරල් විජය විමලරත්න ගේ බිරිඳ වන මානෙල් මංගලිකා විමලරත්න මැතිණියද සහභාගී වූහ.

ජාතිය වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන් සිහිකිරීමට පෙර, එම වීරෝදාර රණවිරුවන්ගේ හා රණක්‍ෂිතයට පත් වීරෝදාර රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින්, ගජබා රෙජිමේන්තුවේ සේවා මුක්ත භට සංගමයේ සාමාජිකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සෙසු නිලයින් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් සර්ව රාත්‍රික සෙත් පිරිත් සජ්ඣායනයක්, දානමය පිංකමක්, ගජබා රෙජිමේන්තුවේ නිර්මාතෘ වෙත පුෂ්පෝපහාර පිරිනැමීමේ උත්සවයක් ඇතුළු වැඩ සටහන් කීපයක් පවත්වනු ලැබූහ.

සර්ව ආගමික වතාවත් වලින් අනතුරුව ජාතික ගීය, යුද්ධ හමුදා ගීතය සහ ගජබා රෙජිමේන්තුවේ ගීතය ගායනා කිරීමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන්, කුරිරු ත්‍රස්ථවාදයෙන් රට මුදවා ගැනීමට දිවි පරදුවට තබමින් කටයුතු කල ගජබා රෙජිමේන්තුවේ වීරෝධාර රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින් ඇතුළු එහි රැස්ව සිටි සියලු දෙනා එම රෙජිමේන්තුවේ වීරෝධාර රණවිරුවන් සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් ද පවත්වන ලදී.

ඉන් අනතුරුව , ගජබා රෙජිමේන්තුවේ ප්‍රවීන සමාජිකයෙකු වන වත්මන් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් මාතෘභූමිය වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් පළමුව රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුදකරන ලදී. මෙම පුෂ්පෝපහාර පුදකිරීමේ අවස්ථාවට මානෙල් මංගලිකා විමලරත්න මැතිණිය, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී ජානකී ලියනගේ මැතිණියද සහභාගී වූහ.

සුදු වතින් සැරසී එම උත්සව අවස්ථාවට සම්බන්ධ වූ මාතෘභූමිය වෙනුවෙන් දිවිපිදු ගජබා රෙජිමේන්තුවේ විරෝදාර රණවිරුවන්ගේ දූ පුතුන්, මව්වරුන් සහ බිරින්දෑවරුන් විසින් තම ආදරණිය යුධ විරුවන්ගේ නම් ඉතාමත් ඕනෑකමකින් යුක්තව නිරීක්‍ෂණය කල මොහොත ඉතා සංවේදී ජනක දර්ශණයක් විය.