Header

Sri Lanka Army

Defender of the Nation

10th October 2022 00:20:41 Hours

යුද්ධ හමුදාවේ 73 වන සංවත්සරයට සමගාමීව නිලධාරින් 372 දෙනෙකුට සහ සෙසුනිලයන් 7127 දෙනෙකුට නිල උසස්වීම්

ඔක්තෝබර් මස 10 දිනට යෙදෙන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 73 වන සංවත්සරය සහ යුද්ධ හමුදා දිනයට සමගාමීව ආරක්‍ෂක අමාත්‍යාංශයේ සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ නිර්දේශය හා සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ අනුමැතිය මත ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය හා ස්වෙච්ඡා බලසේනාවන්හී නිලධාරින් 372 දෙනෙක් සහ සෙසුනිලයන් 7127 දෙනෙකු වෙත නිල උසස්වීම් හිමිගන්වනු ලැබීය.

ඒ අනුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය හා ස්වෙච්ඡා බලසේනාවන්හී බ්‍රිගේඩියර් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 5 දෙනෙකු මේජර් ජෙනරල් නිලයට, කර්නල් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 23 දෙනෙකු බ්‍රිගේඩියර් නිලයට, ලුතිතන් කර්නල් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 28 දෙනෙකු කර්නල් නිලයට, මේජර් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 35 දෙනෙකු ලුතිතන් කර්නල් නිලයට, කපිතන් නිලයේ නිලධාරීන් 125 දෙනෙකු මේජර් නිලයට, ලුතිතන් නිලයේ නිලධාරීන් 63 දෙනෙකු කපිතන් නිලයට සහ දෙවන ලුතිතන් නිලයේ නිලධාරීන් 93 දෙනෙකු ලුතිතන් නිලයට උසස්වීම් ලැබූහ.

එමෙන්ම, නිත්‍ය හා ස්වෙච්ඡා බලසේනාවන්හී බළලත් නිලධාරි II නිලයේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් 136 දෙනෙකු බළලත් නිලධාරි I නිලයටත්, මාණ්ඩලික සැරයන් නිලයේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් 624 දෙනෙකු බළලත් නිලධාරි II නිලයටත්, සැරයන් නිලයේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් 911 දෙනෙකු මාණ්ඩලික සැරයන් නිලයටත්, කෝප්‍රල් නිලයේ කොමිෂන් නොලත් නිලධාරින් 1250 දෙනෙකු සැරයන් නිලයටත්, ලාන්ස් කෝප්‍රල් නිලයේ කොමිෂන් නොලත් නිලධාරින් 2199 දෙනෙකු කෝප්‍රල් නිලයට සහ සාමාන්‍ය සෙබලුන් 2007 දෙනෙකු ලාන්ස් කෝප්‍රල් නිලයට උසස්වීම් ලැබූහ.

මේ අතර, මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ සේනාවිධායක ගැමුණු හේවා බලකායේ බ්‍රිගේඩියර් සේනක කස්තුරිමුදලි, විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ බ්‍රිගේඩියර් රංජන් ජයසේකර, 66 වන සේනාංකයේ සේනාංකාධිපති යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් ජනක ප්‍රියදර්ශන, 14 වන සේනාංකයේ සේනාංකාධිපති ගැමුණු හේවා බලකායේ බ්‍රිගේඩියර් රොෂාන් ජයමාන්න සහ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සේවයේ නියුතු බ්‍රිගේඩියර් ජනක රණසිංහ යන බ්‍රිගේඩියර් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් වෙත මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලබාදෙන ලදී.