Header

Sri Lanka Army

Defender of the Nation

08th October 2022 15:32:01 Hours

භඨකාර්ය සම්පාදන ආඥා මුලස්ථානයේ ඉදිකළ නව කාර්යාල ගොඩනැගිල්ල විවෘත කෙරේ

කොස්ගම පිහිටි භඨකාර්ය සම්පාදන ආඥා මුලස්ථානයේ නව කාර්යාල සංකීර්ණය සිකුරාදා (07) දින විවෘත කරනු ලැබූ අතර එම අවස්ථාවට යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සහභාගී විය.

භඨකාර්ය සම්පාදන ආඥා මුලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරල් එස්.පී.ඒ.අයි.එම්.බී. සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සී විසින් එම මූලස්ථානය වෙත සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව භටපිරිස් විසින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකළහ.

ඉන් අනතුරුව, මේජර් ජෙනරල් එස්.පී.ඒ.අයි.එම්.බී. සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සී විසින් භඨකාර්ය සම්පාදන ආඥා මුලස්ථානයේ යුද්ධ හමුදාධිපතිතුමන් සිදුකළ සංචාරය සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ නව කාර්යාල සංකීර්ණය ඉදිරිපිට පැළයක් රෝපණය කිරීමට යුද්ධ හමුදාධිපතිතුමන් වෙත ආරාධනා කළේය.

සුබ මොහොත උදාවීමෙන් පසුව සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් පීත්ත පටිය කපා නව කාර්යාල සංකීර්ණය විවෘත කිරීමෙන් අනතුරුව සාම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වීය. එහිදී, ආගමික වතාවත්වල නිරත වීමෙන් අනතුරුව එම අවස්ථාවට වැඩමවා වදාළ ස්වාමීන් වහන්සේලා සමඟ යුද්ධ හමුදාධිපතිතුමන් විසින් අදහස් හුවමාරු කරගත්තේය.

ඉන් අනතුරුව, භඨකාර්ය සම්පාදන ආඥා මුලස්ථානයේ ආඥාපති ඇතුළු තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් විසින් එම කඳවුරු පරිශ්‍රයේ සිදුකරනු ලැබූ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ආකර්ශනීය සහ ප්‍රයෝජනවත් අයුරින් සිදුකර ඇති ආකාරය පිළිබඳ නිරීක්‍ෂණය කිරීමට යුද්ධ හමුදාධිපතිතුමන් කැටුව යනු ලැබූහ. එහිදී, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් භඨකාර්ය සම්පාදන ආඥා මුලස්ථානයේ ආඥාපති ඇතුළු සියලුම නිලයන්ගේ කැපවූ සේවය සහ මෙම ඉදිකිරීම් කටයුතු නියමිත කාලය තුළ අවසන් කිරීම පිළිබඳ පැසසුමට ලක්කළේය.

මෙම උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සහ භඨකාර්ය සම්පාදන ආඥා මුලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරල් එස්.පී.ඒ.අයි.එම්.බී. සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සී අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකෙරිණි. භඨකාර්ය සම්පාදන ආඥා මුලස්ථාන පරිශ්‍රයෙන් නික්ම යාමට ප්‍රථම යුද්ධ හමුදාධිපතිතුමන් විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් තබමින් සිය අදහස් සහ ප්‍රශංසාවන් පිළිබඳ සටහන් තැබුවේය. ඉන් අනතුරුව, එම මූලස්ථානයේ සියලුම නිලධාරින් සමඟින් සමූහ ඡායාරූපයකට ද යුද්ධ හමුදාධිපතිතුමන් එක්විය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් ඩී.ජී.එස්. සෙනරත් යාපා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, අධ්‍යක්‍ෂ ජෙනරාල් මූල්‍ය කළමනාකරණ මේජර් ජෙනරල් ඩබ්ලිව්.බී.එස්.එම්. අබේසේකර ආර්එස්පී යූඑස්පී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද එක්වූහ.