04th October 2022 18:06:29 Hours
විශ්‍රාම දිවියට පා තබන 59 වන සේනාංකයේ හිටපු සේනාංකාධිපති, ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ මේජර් ජෙනරල් ජී.ඩී. සූරියබණ්ඩාර යූඑස්පී සිය පවුලේ සාමාජිකයන් සමගින් පසුගිය සඳුදා (03) දින යුද්ධ හමුදා මුලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ හමුවිය.
එහිදී යුද්ධ හමුදාවේ වසර 34 කට අධික කීර්තිමත් සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් ජී.ඩී. සූරියබණ්ඩාර යූඑස්පී යුද්ධ හමුදාව වෙනුවෙන් සිදුකළ සේවය යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ඇගයීමට ලක්කළේය. මෙම සුහද හමුවේදී, වර්ෂ 2009 මැයි මාසයට පෙර ත්‍රස්තවාදයට එරෙහිව පැවති මානුෂීය මෙහෙයුමේ අවසන් අදියරේදී විශ්‍රාම දිවියට පා තබන මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් සිදුකරනු ලැබූ නිර්භීත සහ ආදර්ශමත් සේවය පිළිබඳව ද මතකයන් යළි ආවර්ජනය කරන ලදී.
මෙම අවස්ථාව සඳහා සහභාගී වූ මේජර් ජෙනරල් ජී.ඩී. සූරියබණ්ඩාර යූඑස්පී ගේ පවුලේ සාමාජිකයන් සමඟ යුද්ධ හමුදාධිපතිතුමන් සුහද අදහස් හුවමාරුවක නිරත වෙමින් විශ්‍රාම දිවියට පා තබන මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් මානුෂීය මෙහෙයුමේදී සහ අනෙකුත් රාජකාරි අවස්ථාවන්හිදී සිය රාජකාරි කටයුතු නිසි අයුරින් ඉටුකිරීම සඳහා ලබාදුන් සහයෝගය වෙනුවෙන් පවුලේ සාමාජිකයින් වෙත ස්තූතිය පුදකරමින් එතුමන්ගේ අනාගත සැලසුම් වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් සුබපැතුම් ද එක්කළේය.
මෙම සුහද හමුවේදී, මේජර් ජෙනරල් ජී.ඩී. සූරියබණ්ඩාර යූඑස්පී සිය අදහස් දක්වමින් තම වෘත්තීය ජීවිතය තුළ දී යුද්ධ හමුදාධිපතිතුමන් ලබාදුන් සහයෝගය, මඟපෙන්වීම සහ උපදෙස් වෙනුවෙන් ද සිය ස්තූතීය පුදකරන ලදී. එහිදී, ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් ජී.ඩී. සූරියබණ්ඩාර යූඑස්පී වෙත විශේෂ සමරු තිළිණයක් සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයන් වෙත විශේෂ ත්‍යාගයක්ද ප්‍රදානය කරන ලදී.
මේජර් ජෙනරල් ජී.ඩී. සූරියබණ්ඩාර වර්ෂ 1986 ජනවාරි මස 27 දින රටේ ආරක්‍ෂාව තහවුරු කිරීමේ අරමුණ පෙරදැරිව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට බැඳුනු අතර කෙටි කාලීන පාඨමාලා මූලික හමුදා පුහුණුව සාර්ථකව නිම කිරීමෙන් අනතුරුව, වර්ෂ 1988 ජනවාරි මස 01 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලකායේ දෙවන ලුතිනන්වරයෙකු ලෙස අධිකාරියට පත්ව ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායට අනුයුක්ත කෙරිණි. ඉන් අනතුරුව, මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් වර්ෂ 1990 ජනවාරි මස 01 දින ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායට අනුයුක්ත කරනු ලැබීය. මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් ක්‍රමානුකූලව උසස්වීම් ලබමින් වර්ෂ 2021 මැයි මස 07 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය.
විශ්‍රාම දිවියට පා තබන විට 59 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති ධූරය හොබවමින් සිටි මේජර් ජෙනරල් ජී.ඩී. සූරියබණ්ඩාර බලඝණ අණදෙන නිලධාරී, ආරක්‍ෂක කණ්ඩායම් අණදෙන නිලධාරි, දෙවන අණදෙන නිලධාරි, මාණ්ඩලික නිලධාරි 2 (සැපයුම්), අණදෙන නිලධාරී, කර්නල් (මාණ්ඩලික ප්‍රධානි), මධ්‍යස්ථාන සේනාවිධායක සහ බලසේනාධිපති වැනි ධූරයන් ද හොබවා ඇත.
මේජර් ජෙනරල් ජී.ඩී. සූරියබණ්ඩාර ගේ කීර්තිමත් සේවා කාලය තුළ එතුමන් වෙත උත්තම සේවා පදක්කම, නැගෙනහිර මානුෂීය මෙහෙයුම් පදක්කම, උතුරු මානුෂීය මෙහෙයුම් පදක්කම, පූර්ණ භූමි පදක්කම, උතුරු නැගෙනහිර සංග්‍රාමික පදක්කම, රිවිරැස මෙහෙයුම් පදක්කම, 50 වන නිදහස් සංවත්සර පදක්කම, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 50 වන සංවත්සර පදක්කම, ශ්‍රී ලංකා සන්නද්ධ සේවා දීර්ඝ සේවා පදක්කම, සේවාභිමානි පදක්කම සහ සේවා පදක්කම හිමිගන්වා ඇත.