Header

Sri Lanka Army

Defender of the Nation

04th October 2022 12:54:02 Hours

විශ්‍රාම දිවියට එළඹෙන ගජබා රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් වෙත යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුම්

විශ්‍රාම දිවියට එළඹෙන 22 වන සේනාංකයේ හිටපු සේනාංකාධිපති ගජබා රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් ඩබ්ලිව්.බී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ආර්.එස්.පී. අළුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී සඳුදා (03) දින යුද්ධ හමුදා මුලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ හමුවිය.

මෙම සුහද හමුවේදී, මේජර් ජෙනරල් ඩබ්ලිව්.බී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ආර්.එස්.පී. අළුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වසර 32 කට අධික කාලයක් යුද්ධ හමුදාව වෙනුවෙන් සිදුකළ ආදර්ශමත් සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට ලක් වූ අතර, විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් වෙත යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුබපැතුම් ද හිමිවිය.

එමෙන්ම, විශ්‍රාම දිවියට පා තබන මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් සිය යුද්ධ හමුදා දිවිය තුළ දී විවිධ තනතුරු හොබවමින් යුද්ධ හමුදාව වෙනුවෙන් සිදුකළ අනගී සේවය ද යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ඇගයීමට ලක්කළ අතර වර්ෂ 2009 මැයි මාසයට පෙර ත්‍රස්තවාදයට එරෙහිව පැවති මානුෂීය මෙහෙයුමේ උච්චතම අවස්ථාවේදී සැබෑ වශයෙන්ම පාබල හමුදා සාමාජිකයෙකු ලෙස විශ්‍රාම දිවියට පා තබන මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් සිදුකරනු ලැබූ නිර්භීත භූමිකාවන් පිළිබඳව ද මතකයන් යළි ආවර්ජනය කළ අතර, එමෙන්ම සමකාලීන පාසල් මිතුරන් ලෙස පැවති සබඳතාවයන් ද මෙම සුහද හමුවේදී සිහිපත් කරන ලදී. තවද, එහිදී යුද්ධ හමුදාධිපතිතුමන් විසින් විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ අනාගත බලාපොරොත්තු වෙනුවෙන් සිය සුබපැතුම් ද එක්කළේය.

මෙම සුහද හමුවේදී, මේජර් ජෙනරල් ඩබ්ලිව්.බී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ආර්.එස්.පී. අළුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී සිය අදහස් දක්වමින් තම වෘත්තීය ජීවිතය තුළ දී යුද්ධ හමුදාධිපතිතුමන් ලබාදුන් සහයෝගය, මගපෙන්වීම, උපදෙස්, දිරිගැන්විම් සහ සුබපැතුම් වෙනුවෙන්ද සිය ස්තූතීය පුදකළේය. මෙම සුහද හමුව සමාප්තියේ, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් විශ්‍රාම ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් වෙත විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කරනු ලැබීය.

ත්‍රස්තවාදයට එරෙහිව පැවති මානුෂීය මෙහෙයුම සඳහා සුවිසල් දායකත්වයක් ලබාදුන් මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් විශේෂයෙන්ම මානුෂීය මෙහෙයුමේදී උතුරු හා නැගෙනහිර මෙහෙයුම්වලට සෘජුවම සම්බන්ධ වෙමින්, සතුරාගේ උපාය මාර්ගික ස්ථාන අල්ලා ගැනීම සඳහා බලඇණියට අණදෙන ලදී. මීට අමතරව, මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් භටපිරිස්හී පුහුණුව විධිමත් කිරීම සඳහා ඉමහත් දායකත්වයක් ලබා දුන් අතර, අණදෙන නිලධාරී ධූරයන් සහ අම්පාර සටන් පුහුණු පාසලේ සේනාවිධායක ලෙස කටයුතු කරමින් යුද්ධ හමුදා භටපිරිස්හී පුහුණුවේ ප්‍රමිතිය ඉහළ නැංවීමට සිය දායකත්වය දැක්විය. යුද්ධ හමුදාව වෙනුවෙන් සිදුකළ අනගී මෙහෙවර ඇගයීමට ලක්කරමින් මේජර් ජෙනරල් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුට හිමිවිය හැකි ජ්‍යෙෂ්ඨතම සහ කීර්තිමත් ධූරයන්ගෙන් එකක් වශයෙන් 22 වන සේනාංකයේ සේනාංකාධිපති ධූරයේ රාජකාරි එතුමන් වෙත භාරදෙන ලදී.

මේජර් ජෙනරල් ඩබ්ලිව්.බී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ආර්.එස්.පී. අලුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වර්ෂ 1988 ජූලි මස 26 දින කෙඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලකාය වෙත ඇතුලත් කෙරිණි. අනතුරුව, දියතලාව සහ පාකිස්ථාන යුද්ධ හමුදා විද්‍යාපීඨයන් තුලින් හමුදා පුහුණුව සාර්ථකව අවසන් කිරීමෙන් අනතුරුව වර්ෂ 1990 ජුනි මස 9 දින දෙවන ලුතිනන්වරයෙකු වශයෙන් අධිකාරියට පත්ව ගජබා රෙජිමේන්තුවට අනියුක්ත කෙරිණි. යුද්ධ හමුදා සේවා කාලය තුළ ක්‍රමානුකූලව උසස්වීම් ලබමින් වර්ෂ 2021 මැයි මස 07 දින එතුමන් මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය.

මේජර් ජෙනරල් ඩබ්ලිව්.බී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ආර්.එස්.පී. අළුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ සේවා කාලය තුළ දැක්වූ කැපවීම ඇගයීමට ලක්කරමින් එතුමන් වෙත රණ වික්‍රම පදක්කම, රණ ශූර පදක්කම, නැගෙනහිර මානුෂීය මෙහෙයුම් පදක්කම, උතුරු මානුෂීය මෙහෙයුම් පදක්කම, පූර්ණ භූමි පදක්කම, උතුරු නැගෙනහිර සංග්‍රාමික පදක්කම, රිවිරැස මෙහෙයුම් පදක්කම, 50 වන නිදහස් සංවත්සර පදක්කම, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 50 වන සංවත්සර පදක්කම, ශ්‍රී ලංකා සන්නද්ධ සේවා දීර්ඝ සේවා පදක්කම සහ සේවාභිමානී පදක්කම ද පිරිනමා ඇත.