Header

Sri Lanka Army

Defender of the Nation

04th October 2022 12:22:22 Hours

බංගලාදේශ ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ශිෂ්‍ය නිලධාරින් යුද්ධ හමුදා මූලස්ථානයේ සංචාරයක

මේ වනවිට ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටින බංගලාදේශ ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍ය නිලධාරීන් පිරිසක් සිය පාඨමාලාවේ කොටසක් ලෙස සිදුකරනු ලැබූ ක්ෂේත්‍ර සංචාරයක් අතරතුර පසුගිය සඳුදා (3) දින යුද්ධ හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය.

යුද්ධ හමුදා මූලස්ථානය වෙත පැමිණි ගෲප් කපිතන් එම්ඩී අල් අම් කාන් ඒඑෆ්ඩබ්ලිව්සී පීඑස්සී ඒඩීඩබ්ලිව්සී (Md Al Amm Khan, afwc, psc, ADWC) ප්‍රමුඛ ශිෂ්‍ය නිලධාරීන් 43 දෙනෙකුගෙන් යුත් මෙම දූත පිරිස යුද්ධ හමුදා මූලස්ථානයේ පුහුණු අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් කපිල දොලගේ විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී කාර්යාලය වෙත කැටුව යනු ලැබීය.  

ඉන් අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් නියෝජනය කරමින් මෙම අවස්ථාවේදී යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු විසින් ගෲප් කපිතන් එම්ඩී අල් අම් කාන් ඒඑෆ්ඩබ්ලිව්සී පීඑස්සී ඒඩීඩබ්ලිව්සී ප්‍රමුඛ බලංගලාදේශ දූත පිරිස පිළිගැනීමෙන් අනතුරුව ඔවුන් අතර සුහද සාකච්ඡාවක් පැවැත්විණි.

මෙම සුහද හමුවේදී, මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු විසින් වසර ගණනාවක් පුරාවට ශ්‍රී ලංකාව සහ බංගලාදේශ ත්‍රිවිධ හමුදාව අතර පවතින සහයෝගීතාවය කෘතඥතාපූර්වකව සිහිපත් කළ අතර, එම රාජකාරිමය සබඳතාවයන්, අවබෝධතාවයන් සහ පුහුණු ක්‍රමවේදයන් හුවමාරු කරගැනීමේ වැඩසටහන් තවදුරටත් වැඩිදියුණු කරගැනීමේ අවශ්‍යතාවය පිළිබඳ අවධාරණය කළේය.  

මෙම සුහද හමුව සමාප්තියේ, මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු සහ සංචාරයේ නිරත දූත පිරිස අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකෙරිණි.  

ඉන් අනතුරුව, යුද්ධ හමුදා මූලස්ථානයේ පුහුණු අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් කපිල දොලගේ විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සංවිධාන ව්‍යුහය සහ ක්‍රියාකාරි අංශයන් පිළිබඳ විද්‍යූත් මාධ්‍ය ඉදිරිපත් කිරීමක් තුලින් සංචාරයේ නිරත දූත පිරිස දැනුවත් කරනු ලැබීය. මෙම සුහද හමුව සඳහා, අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් නිශාන්ත මානගේ, ප්‍රධාන සංඥා නිලධාරි මේජර් ජෙනරල් ලලිත් හේරත් සහ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් ද එක්වූහ.

සංචාරයේ නිරත දූත පිරිස යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රයෙන් නික්ම යාමට ප්‍රථම යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමඟ සමූහ ඡායාරූපයක් සඳහා ද එක්වූහ.