Header

Sri Lanka Army

Defender of the Nation

30th September 2022 17:00:36 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම සංචාරයක

ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් එම්කේඑස් සිල්වා ආර්ඩබ්ලිවිපී ආර්එස්පී එන්ඩීයූ ගේ ආරාධනයකට අනුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සිකුරාදා (29) දින දියතලාව ප්‍රදේශයේ ස්ථාපිත ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම සංචාරයක නිරත විය.

ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් වෙත 23 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම විසින් යුද්ධ හමුදාධිපතිතුමන් උණුසුම් අයුරින් එම මූලස්ථාන පරිශ්‍රය වෙත පිළිගනු ලැබීය. ඉන් අනතුරුව, යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනා පුහුණු පාසල් සරඹ භූමියේදී භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය යුද්ධ හමුදාධිපතිතුමන් වෙත පිරිනැමූහ.

අනතුරුව, මෙම සංචාරය සනිටුහන් කරමින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ මාණ්ඩලික නිලධාරීන් සමඟ ඡායාරූප කිහිපයකට ද යුද්ධ හමුදාධිපතිතුමන් එක්විය. පසුව, එතුමන් විසින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම සිදුකළ ප්‍රථම නිල සංචාරය සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය.

පසුව, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත සියලුම සේනාංක, බලසේනා සහ ඒකකයන්හී සේවයේ නියුතු නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් අමතමින් කැපවීමෙන් රාජකාරි ඉටුකිරීමේ වැදගත්කම, වෘත්තීය දැනුම නිරන්තරයෙන් වැඩිදියුණු කරගැනීමේ අවශ්‍යතාවය, ස්වයං විනය ඉහළ මට්ටමකින් පවත්වාගැනීමේ වැදගත්කම සහ යුද්ධ හමුදාව මගින් ක්‍රියාත්මක කරනු ලබන හරිත කෘෂිකාර්මික වැඩසටහන ආදී වූ කරුණු පිළිබඳව අවධාරණය කළේය.

දේශනය සමාප්තියේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සහ ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් එම්කේඑස් සිල්වා ආර්ඩබ්ලිවිපී ආර්එස්පී එන්ඩීයූ අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකෙරිණි.

මෙම සංචාරය සඳහා 11, 12 වන සේනාංකයන්හී සේනාංකාධිපතිවරුන්, ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - මධ්‍යම, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරින්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද එක්වූහ.