21st September 2022 17:29:10 Hours
යුද්ධ හමුදා බොක්සිං කමිටුව විසින් සංවිධානය කරන ලද අන්තර් රෙජිමේන්තු ශූරතා බොක්සිං තරඟාවලිය - 2022 පසුගිය අඟහරුවාදා (20) දින පනාගොඩ යුද්ධ හමුදා ශාරීරික අභ්‍යාස පුහුණු පාසලේදී පැවැත්විණි.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය ඇතුළු රෙජිමේන්තු 15 ක් නියෝජනය කරමින් තරඟකරුවන්ගේ සහභාගීත්වයෙන් මෙම තරඟාවලිය සැප්තැම්බර් මස 17 දින සිට 21 දින දක්වා දින පහක් පුරාවට පැවැත්විණි. රෙජිමේන්තු 17 ක් නියෝජනය කරමින් බර පන්ති 14 ක් යටතේ යුද්ධ හමුදා බොක්සිං ක්‍රීඩකයින් 78 දෙනෙක් සහ බොක්සිං ක්‍රීඩිකාවන් 11 දෙනෙක් තරඟවැදුනු මෙම තරඟාවලිය යුද්ධ හමුදාවේ නව බොක්සිං ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්‍ෂතාවයන් ඔප්නැංවීමට මහඟු අවස්ථාවක් විය.
මෙම තරඟාවලියේ අවසන් තරඟය නැරඹීම සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සහභාගි විය.
එම අවස්ථාවට සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් යුද්ධ හමුදා බොක්සිං කමිටුවේ සභාපති මේජර් ජෙනරල් ආර්.ඒ.ඩී.පී. රණවක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
ඉතා තියුණු තරඟයකින් අනතුරුව අවසන් මහා තරඟයේ ශුරතාවය දිනාගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ බොක්සිං ක්‍රීඩකයින් සමත් වූ අතර අනුශූරතාවය විජයබාහු පාබල රෙජිමේන්තු බොක්සිං ක්‍රීඩකයින් විසින් හිමිකරගත්හ. එමෙන්ම, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු බෝක්සිං ක්‍රීඩකයින් විසින් තෙවැනි ස්ථානය දිනාගැනීමට සමත්වූහ.
මේ අතර, කාන්තා අංශයේ ශුරතාවය දිනාගැනීමට 5 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකා ක්‍රීඩිකාවන් සමත්වූ අතර අනුශූරතාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා කාන්තා බොක්සිං ක්‍රීඩිකාවන් විසින් දිනාගත්හ.
එමෙන්ම, පිරිමි ආධුනික අංශයේ ප්‍රථම ස්ථානය විජයබාහු පාබල රෙජිමේන්තු බොක්සිං ක්‍රීඩකයින් දිනාගත් අතර ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා බොක්සිං ක්‍රීඩකයින් ප්‍රථම අනුශූරතාවයත්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා බොක්සිං ක්‍රීඩකයින් දෙවන අනුශූරතාවයත් දිනාගනු ලැබූහ. ආධුනික කාන්තා අංශයේ පළමු ස්ථානය ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය දිනාගත් අතර ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බොක්සිං ක්‍රීඩිකාවන් දෙවන ස්ථානය දිනාගනු ලැබීය.
තරඟාවලිය සමාප්තියේ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ සුරතින් ජයග්‍රාහකයින් වෙත කුසලාන සහ සහතිකපත් ප්‍රදානය කරන ලදී. එමෙන්ම, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් ටී.ජේ. කොඩිතුවක්කු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් චන්න වීරසූරිය සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් ඩී.ජී.එස්. සෙනරත් යාපා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ද ජයග්‍රාහකයින් වෙත කුසලාන සහ සහතිකපත් ප්‍රදානය කිරීමට එක්වූහ.
තරඟාවලිය් දක්‍ෂතම පිරිමි බොක්සිං ක්‍රීඩකයා ලෙස විජයබාහු පාබල රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් පී.ඒ.ආර්. ප්‍රසන්න සම්මානයට හිමිකම් කී අතර ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ කෝප්‍රල් එම්.පී.පී. සංජීව නුවන් දක්‍ෂතම පරාජිතයා ලෙස සම්මාන හිමිකරගත්තේය. මේ අතර හොඳම කාන්තා බොක්සිං ක්‍රීඩිකාව ලෙස 5 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කාන්තා සෙබල එස්.ඩබ්ලිව්. රත්නපුලි සම්මානයට හිමිකම් කී අතර දක්‍ෂතම පරාජිතයා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ සාමාන්‍ය සෙබල එම්.ඩී.ඩී. මනතුංග සම්මානයට හිමිකම් කීවාය.