06th September 2022 21:59:03 Hours
ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කොමදෝරු එම්. ශෆියුල් බාරි (Commodore M Shafiul Bari) අඟහරුවාදා (06) දින ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ හමුවිය.
මෙම සුහද හමුව අතරතුර, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක වෙත සිය සුබපැතුම් එක්කිරීමෙන් අනතුරුව දෙරට අතර ද්වීපාර්ශවීය වශයෙන් වැදගත්වන කරුණු සහ අන්‍යෝන්‍ය වශයෙන් පවතින අවශ්‍යතාවයන් පිළිබඳ අදහස් හුවමාරු කරගැණිනි. තවද, දෙරටේ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් වෙනුවෙන් පවත්වනු ලබන පුහුණු වැඩසටහන් තවදුරටත් වැඩිදියුණු කිරීම මෙන්ම අත්දැකීම් හා තාක්‍ෂණික දැනුම හුවමාරු කරගැනීමේ හැකියාව පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.
මෙම සුහද හමුව සමාප්තියේ යුද්ධ හමුදාධිපතිතුමන් සහ ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකෙරිණි.
කොමදෝරු එම්. ශෆියුල් බාරි පිළිබඳ කෙටි හැඳින්වීමක් පහතින් දැක්වේ:
කොමදෝරු එම්. ශෆියුල් බාරි (එන්ඩී) පීඑස්සී බීඑන් වර්ෂ 1990 ජනවාරි මාස බංගලාදේශ නාවික හමුදාවට බැඳුණු අතර වර්ෂ 1992 ජූලි මස 01 දින බංගලාදේශ නාවික හමුදා ඇකඩමියේ විධායක (මෙහෙයුම්) ශාඛාව වෙතින් ලුතිනන්වරයෙකු ලෙස අධිකාරියට පත්කරන ලදී. එතුමන්ගේ වෘත්තීය දිවිය තුලදී, දේශීය හා විදේශීය වශයෙන් විවිධ වෘත්තීමය පාඨමාලාවන් රැසක් හදාරා ඇත. ලුතිනන්වරයෙකු වශයෙන් එතුමන් පකිස්ථානයේ, කරච්චිහිදී Long ND (Navigation and Direction) විශේෂතා පාඨමාලාව ද සාර්ථකව හදාරා ඇත. එමෙන්ම, එතුමන් වර්ෂ 2006 දී බංගලාදේශයේ, මිර්පූර් හි ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයෙන් මාණ්ඩලික පාඨමාලාව සම්පූර්ණ කළ අතර වර්ෂ 2008 දී ලුතිනන් කමාන්ඩර්වරයෙකු ලෙස වෙලින්ටන් හි ආරක්‍ෂක සේවා මාණ්ඩලික විද්‍යාලයෙන් දෙවන මාණ්ඩලික පාඨමාලාව සම්පූර්ණ කළේය.
පසුව, ඔහු වර්ෂ 2012-13 දී මිර්පූර් හි ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ උපදේශකයෙකු ලෙසත් වර්ෂ 2016-17 දී ප්‍රධාන උපදේශක ලෙසත් සේවය කළේය. කොමදෝරු එම්. ශෆියුල් බාරි වර්ෂ 2015 දී සවාර් හී සිවිල් සේවා ඒකාබද්ධ ලේකම් රාජ්‍ය පරිපාලන පුහුණු පාඨමාලාව, ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික පාඨමාලා 74 සම්පූර්ණ කළේය. එමෙන්ම, ඉන්දියාවේ මදුරාසි විශ්වවිද්‍යාලයෙන් ආරක්‍ෂක හා උපාය මාර්ගික අධ්‍යයනය පිළිබඳ පශ්චාත් උපාධිය සහ ඩකා හි ජාතික විශ්වවිද්‍යාලයෙන් ආරක්‍ෂක අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ද හදාරා ඇත. නාවික හමුදාව තුල එතුමන් සතු වෘත්තීය දිවිය තුලදී කොමදෝරු එම්. ශෆියුල් බාරි අණ, මාණ්ඩලික සහ උපදේශක පත්වීම් රැසක් හොබවා ඇත. එමෙන්ම, මුර යාත්‍රා, මිසයිල බෝට්ටු, අක්වෙරළ මුර යාත්‍රා සහ බංගලාදේශ නාවික හමුදාවේ මඟ පෙන්වන මිසයිල නැව් වැනි විවිධ වර්ගයේ යුද නැව්වලට ද එතුමන් අණ දී ඇත.