02nd September 2022 18:07:17 Hours
සමාජ සුභසාධන කටයුතු වල නිරත ලාභ නොලබන සංවිධානයක් වන ‘ආර්ය’ පදනමේ සාමාජිකයින් විසින් අද (02) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ හමුවිය. එහිදී එම සාමාජිකයින් විසින් තම සංවිධානයේ කාර්යභාරය, දැනට සිදුකර ඇති සහ ඉදිරියේදී සිදුකිරීමට නියමිත සුභසාධන ව්‍යාපෘතින් පිළිබඳව යුද්ධ හමුදාධිපතිතුමන් දැනුවත් කරන ලදී.
මෙම අවස්ථාවට ආර්ය පදනමේ සභාපති චරිත් කිරිඇල්ල මහතා, ලේකම් ශමේන්ද්‍ර වික්‍රමාරච්චි, විශාරද ජගත් වික්‍රමසිංහ, පදනමේ ජ්‍යෙෂ්ඨ උපදේශක වෛද්‍ය සමාධි රාජපක්‍ෂ සහ පදනමේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් වන වෛද්‍ය ලලිත් බණ්ඩාර ඇතුළු පිරිසක් සහභාගී වූහ.
මෙම සුහද හමුවේදී චරිත් කිරිඇල්ල මහතා යුද්ධ හමුදාධිපතිතුමන් වෙත ආර්ය පදනම මගින් යුද්ධ හමුදාවේ සේවයේ නියුතු රණවිරුවන් සහ මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් සිදුකල ඇති සහ ඉදිරියේදී සිදුකිරීමට බලාපොරොත්තු වන ව්‍යපෘතින් පිළිබඳව කෙටියෙන් පැහැදිලි කළේය.
එහිදී යුද්ධ හමුදාධිපතිතුමන් ආර්ය පදනම විසින් සිදුකරන ලබන සුභසාධන කාර්යභාරය පැසසුමට ලක්කල අතර, අනාගතයේදීත් රණවිරුවන්ට සහ මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින්ට වැඩි සුභසාධනයක් ඇති කිරීම සඳහා පදනමේ උදාර මෙහෙවර තව දුරටත් ඉදිරියට ගෙන යන ලෙසද ඉල්ලා සිටියේය. එම රණවිරුවන් මාතෘ භූමියට සාමය උදාකර දේශයේ භෞමික අඛණ්ඩතාව සහ ඒකීයභාවය ආරක්‍ෂා කිරීමට තම ජීව දානය සහ කාය දානය ලබාදුන් බවත්, එය සියලුම ශ්‍රී ලාංකිකයන් විසින් අමතක නොකළ යුතු කරුණක් බවත් වැඩි දුරටත් සඳහන් කරන ලදී.
සුහද හමුව අවසානයේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සුහදත්වය සංකේතවත් කරමින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ය පදනමේ සාමාජිකයින් වෙත සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.