05th September 2022 14:16:04 Hours
යුද්ධ හමුදාධිපති සහ ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ රෙජිමේන්තු අධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ යුද්ධ හමුදාධිපති ධූරයට පත්වීමෙන් පසු හෙරලියවල පිහිටි ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ප්‍රථම නිල සංචාරය අගෝස්තු මස 31 වන දින සිදුකරන ලදී. එහිදී භටපිරිස් විසින් සිය රෙජිමේන්තු අධිපතිතුමන් වෙත ගෞරවාචාරය පුදකරනු ලැබීය.
ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් එච්ඒ කීර්තිනාත් විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබීමෙන් පසුව එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය සිය රෙජිමේන්තු අධිපතිතුමන් වෙත පුදකරන ලදී.
අනතුරුව, සම්මාන මුරයේ ගෞරවාචාරය පිළිගැනීමට සරඹ භූමියේ ප්‍රධාන පීඨිකාව වෙත පැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් හට සරඹ පෙළපාලියේ අණදෙන නිලධාරි විසින් හමුදා සම්ප්‍රදායානූකූල ගෞරවාචාර මධ්‍යයේ ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස්වලින් සැදුම්ලත් සරඹ පෙළපාලිය පීඨිකාවේ රුදී සිටි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ වෙත ගෞරවාචාරය පුදකරනු ලැබීය.
එහිදී යුද්ධ හමුදාධිපතිතුමන් විසින් භටපිරිස් අමතමින් ‘‘ජාතියේ ආරක්‍ෂකයින් ලෙස යුද්ධ හමුදා සාමාජිකයන් වන අප සිවිල් ජනතාව ආරක්‍ෂා කරමින් ඔවුන්ගේ ජනජීවිතය පවත්වාගෙන යාමට සහ රටේ සාමය පවත්වාගෙන යාම සඳහා නිරතුරුවම අවධානයෙන් සිටිම අපගේ යුතුකමයි’’ යනුවෙන් පවසනු ලැබීය.
වැඩි දුරටත් යුද්ධ හමුදාවේ විනය සහ වෘත්තීය නිපුණත්වය පවත්වාගැනීමේ වැදගත්කම පිළිබදව අදහස් දැක්වූ යුද්ධ හමුදාධිපතිතුමන්, ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් ඉතා ඉහල මට්ටමකින් යුතුව නිරන්තරයෙන්ම සිය හැකියාවන් වැඩිදියුණු කිරීමට කැපවීමෙන් කටයුතු කරන බව ඔප්පු කර ඇති බවද එතුමන් අවධාරනය කළේය.
ඉන් අනතුරුව පැවති සියළු නිල තේ පැන් සංග්‍රහය අතරතුරදී යුද්ධ හමුදාධිපතිතුමන් විසින් පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේදී කවපෙත්ත විසිකිරීමේ ක්‍රීඩා ඉසව්වෙන් පදක්කමක් හිමිකර ගත් සැරයන් පාලිත බණ්ඩාරගේ ක්‍රීඩා දක්‍ෂතා අගයමින් ඔහුගේ ඉදිරි ක්‍රීඩා කටයුතු වැඩි දියුණු කරගැනීම සඳහා මූල්‍යමය දිරි දීමනාවක් ප්‍රදානය කරන ලදී.
මෙම සංචාරය සනිටුහන් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේ පැළයක් රෝපණය කරන ලද අතර, එම අවස්ථාව සඳහා එම රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක, නියෝජ්‍ය සේනාවිධායක, රෙජිමේන්තු මන්ත්‍රණ සභාවේ සාමාජිකයින් සහ සෙසු නිලයින් පිරිසක් සහභාගී වූහ.
එහිදී යුද්ධ හමුදාධිපතිතුමන් විසින් සියළු පහසුකම් වලින් සමන්විත රෙජිමේන්තු මධ්‍යස්ථාන කාර්යාල පරිශ්‍රයේ නවතමයෙන් ඉදිකරන ලද රෙජිමේන්තු අධිපති නිල කාර්යාලය විවෘත කිරීම සිදුකරන ලදී.
මෙම සංචාරයට තවත් වැදගත් කමක් එක්කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟින් සමූහ ඡායාරූපයකටද පෙනී සිටියහ.
අනතුරුව, වැහැර පිහිටි රෙජිමේන්තු මූලස්ථාන සංකීර්ණය වෙත පැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් මධ්‍යස්ථාන සේනාවිධායක විසින් පිළිගනු ලැබීය. රෙජිමේන්තු මධ්‍යස්ථානයෙන් පිටත්ව යාමට පෙර යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සමරු තිළිණයක් ද ප්‍රදානය කරන ලද අතර, රෙජිමේන්තු මධ්‍යස්ථානයේ විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබුවේය.
මෙම අවස්ථාව සදහා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපති ජානකී ලියනගේ මැතිණිය, රෙජිමේන්තු මන්ත්‍රණ සභාවේ සාමාජිකයින් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.