Header

Sri Lanka Army

Defender of the Nation

30th August 2022 19:07:34 Hours

විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් එල්ඩීඑස්එස් ලියනගේ ආර්එස්පී යූඑස්පී පීඑස්සී එච්ඩීඑම්සී යුද්ධ හමුදාව වෙනුවෙන් සිදුකළ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

විශ්‍රාම දිවියට පා තබන 56 වන සේනාංකයේ හිටපු සේනාංකාධිපති, ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ මේජර් ජෙනරල් එල්ඩීඑස්එස් ලියනගේ ආර්එස්පී යූඑස්පී පීඑස්සී එච්ඩීඑම්සී සිය පවුලේ සාමාජිකයන් සමගින් පසුගිය අඟහරුවාදා (30) දින දින යුද්ධ හමුදා මුලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ හමුවිය.

එහිදී යුද්ධ හමුදාවේ වසර 34 කට අධික කීර්තිමත් සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් එල්ඩීඑස්එස් ලියනගේ ආර්එස්පී යූඑස්පී පීඑස්සී එච්ඩීඑම්සී යුද්ධ හමුදාව වෙනුවෙන් සිදුකළ සේවය යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් ඇගයීමට ලක්කළේය. මෙම සුහද හමුවේදී, වර්ෂ 2009 මැයි මාසයට පෙර ත්‍රස්තවාදයට එරෙහිව පැවති මානුෂීය මෙහෙයුමේ අවසන් අධියරේදී විශ්‍රාම දිවියට පා තබන මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් සිදුකරනු ලැබූ නිර්භීත සේවය පිළිබඳව ද මතකයන් යළි ආවර්ජනය කරන ලදී.

‘‘සතුරා සමඟ දරුණු සටන් පැවැති තීරණාත්මක මොහොතේ වූවද කිසිදු බාධාවකින් තොරව යුද බිමට අත්‍යවශ්‍ය ආධාරක වෙඩි බලය අඛණ්ඩව සැපයීමට අවශ්‍ය පියවර ගැනීමට ඔබ වගකීමෙන් යුතුව නිර්භීතව කටයුතු කළා. යුද්ධ හමුදාව වෙනුවෙන් ඔබ දැක්වූ පක්‍ෂපාතිත්වය මා බෙහෙවින් අගය කරනවා’’ යනුවෙන් එහිදී යුද්ධ හමුදාධිපතිතුමන් පැවසීය.

මෙම අවස්ථාව සඳහා සහභාගී වූ මේජර් ජෙනරල් එල්ඩීඑස්එස් ලියනගේ ආර්එස්පී යූඑස්පී පීඑස්සී එච්ඩීඑම්සී ගේ පවුලේ සාමාජිකයන් සමඟ යුද්ධ හමුදාධිපතිතුමන් සුහද අදහස් හුවමාරුවක නිරත වෙමින් විශ්‍රාම දිවියට පා තබන මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් මානුෂීය මෙහෙයුමේදී සහ අනෙකුත් රාජකාරි අවස්ථාවන්හිදී සිය රාජකාරි කටයුතු නිසි අයුරින් ඉටුකිරීම සඳහා ලබාදුන් සහයෝගය වෙනුවෙන් පවුලේ සාමාජිකයින් වෙත ස්තූතිය පුදකරමින් එතුමන්ගේ අනාගත සැලසුම් වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් සුබපැතුම් ද එක්කළේය.

මෙම සුහද හමුවේදී, මේජර් ජෙනරල් එල්ඩීඑස්එස් ලියනගේ ආර්එස්පී යූඑස්පී පීඑස්සී එච්ඩීඑම්සී සිය අදහස් දක්වමින් තම වෘත්තීය ජීවිතය තුළ දී යුද්ධ හමුදාධිපතිතුමන් ලබාදුන් සහයෝගය, මගපෙන්වීම, උපදෙස්, දිරිගැන්වීම් සහ සුබපැතුම් වෙනුවෙන්ද සිය ස්තූතීය පුදකරන ලදී. සුහද හමුවේදී ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් එල්ඩීඑස්එස් ලියනගේ ආර්එස්පී යූඑස්පී පීඑස්සී එච්ඩීඑම්සී වෙත විශේෂ සමරු තිළිණයක් සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයන් වෙත විශේෂ ත්‍යාගයක්ද ප්‍රදානය කරන ලදී.

මේජර් ජෙනරල් එල්ඩීඑස්එස් ලියනගේ ආර්එස්පී යූඑස්පී පීඑස්සී එච්ඩීඑම්සී වර්ෂ 1988 ජුලි මස 26 දින කැඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිත්‍ය බලසේනාව වෙත ඇතුලත් විය. දියතලාව ශ්‍රී ලංකා හමුදා යුද්ධ විද්‍යාපීඨයේ හමුදා පුහුණුව සාර්ථකව නිමකිරීමෙන් අනතුරුව දෙවන ලුතිනන් නිලයට අධිකාරියට පත් වූ එතුමන් වර්ෂ 1990 ඔක්තෝබර් මස 05 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාලතුවක්කු හමුදාවට අනුයුක්ත කෙරිණි. සිය කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලය තුළ එතුමන් යුද්ධ හමුදා අධ්‍යක්‍ෂ මණ්ඩල වල ප්‍රධාන මාණ්ඩලික තනතුරු රැසක් හොබවා ඇති අතර, 56 වන සේනාංකයේ සේනාංකාධිපති ධූරයට පත් වීමට ප්‍රථම ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ අධ්‍යක්‍ෂ ජෙනරල් ප්‍රධාන මාණ්ඩලික ලෙස ධූරයේ රාජකාරි කළේය.

මේජර් ජෙනරල් එල්ඩීඑස්එස් ලියනගේ ආර්එස්පී යූඑස්පී පීඑස්සී එච්ඩීඑම්සී සිය යුද්ධ හමුදා සේවා කාලය තුලදී 16 වන කාරක ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ සහ 7 වන සැහැල්ලු ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරී, 663 සහ 611 වන බලසේනාවන්හි බලසේනාධිපති, භටකාර්ය සම්පාදන පුහුණු පාසලෙහි සේනාවිධායක සහ ආරක්‍ෂක සේනා මූලස්ථානය - කිලිනොච්චිය බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී වැනි ප්‍රධාන තනතුරු රැසක් හොබවා ඇත.

මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි සිය කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලය තුළ රණ සූර පදක්කම (RSP), උත්තම සේවා පදක්කම (USP) සහ තවත් පදක්කම් රැසකින් පිදුම්ලබා ඇත.