02nd September 2022 18:05:24 Hours
යුද්ධ හමුදා ‘අන්තර් රෙජිමේන්තු රග්බි තරගාවලිය - 2022’ අවසන් මහා තරඟය පසුගිය අඟහරුවාදා (30) දින කොළඹ තුරඟ තරග පිටියේදී පැවැති අතර, එහිදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා රග්බි කණ්ඩායම විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංඥා බලකා රග්බි කණ්ඩායම ලකුණු 24 කින් පරදවා විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගත්තේය.
යුද්ධ හමුදා සාමාජිකයින් අතර රග්බි ක්‍රීඩාවට ඇති ජනප්‍රියතාවය නිසා යුද්ධ හමුදා ක්‍රීඩා දින දර්ශනයේද විශේෂ ස්ථානයක් රග්බි ක්‍රීඩාව හිමිකරගෙන ඇති අතර, එමගින් යුද්ධ හමුදාවට මහත් කීර්තියක් ලැබී ඇත. තවද, රට පුරා සිටින විවිධ රග්බි ක්‍රීඩා සමාජයන්ට ප්‍රබල අභියෝගයක් එල්ල කරමින් සේවා සහ ජාතික මට්ටමින් තරඟ රැසක් වාර්තාගත ලෙස ජයග්‍රහණ කිරීමට හැකි දක්‍ෂ රග්බි ක්‍රීඩකයින් රැසක් යුද්ධ හමුදාව තුලින් බිහිවී ඇත.
මෙම තරඟාවලිය පසුගිය පසු ගිය ජුනි මස 27 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යපීඨ රග්බි කණ්ඩායම ඇතුළුව යුද්ධ හමුදා රෙජිමේන්තු රග්බි කණ්ඩායම් 16 කගේ සහභාගීත්වයෙන් ආරම්භ කරන ලද අතර, අවසන් මහා තරගයට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සහභාගී විය. එහිදී එතුමන් තරඟයේ ජයග්‍රාහකයින්ට සහ සහභාගී වූ ක්‍රීඩකයින් වෙත සුබ පැතුම් එක් කළේය.
යුද්ධ හමුදා රග්බි කමිටුවේ සභාපති මේජර් ජෙනරල් ඩබ්ලිව්ආර්එම්එම් රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී සහ යුද්ධ හමුදා රග්බි කමිටුවේ ලේකම් කර්නල් ටීආර්ඩී සලේ විසින් යුද්ධ හමුදාපතිතුමන් උණුසුම් අයුරින් පිලිගත් අතර, තරඟාවලිය උසස් වෘත්තීය මට්ටමින් සාර්ථකව පැවැත්වීමට අවශ්‍ය සියළුම කටයුතු සිදුකරන ලදී.
යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ශූරතා කුසලානය ජයග්‍රාහී යුද්ධ හමුදා පොදු සේවා බලකා කණ්ඩායමේ ක්‍රීඩකයින් වෙත පිරිනමමින් සිය උණුසුම් සුබපැතුම් පිරිනැමූ අතර, අනතුරුව අනුශූරයන් බවට පත් වූ කණ්ඩායමේ ක්‍රීඩකයින් වෙතද කුසලානය පිරිනැමීය. අනෙකුත් කන්ඩායම් සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ටීජේ කොඩිතුවක්කු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ විසින් ත්‍යාග සහ සහතිකපත් පිරිනමන ලදී.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා රග්බි කණ්ඩායමේ ක්‍රීඩක කෝප්‍රල් සමීර සිල්වා තරගාවලියේ දක්ෂතම රග්බි ක්‍රීඩකයා වූ අතර, මෙම තරඟාවලිය නැරඹීම සඳහා විශාල ප්‍රේක්‍ෂක පිරිසක් සහභාගී වූහ.
ශූරතා කුසලානය - ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා කණ්ඩායම
අනුශූරතා කුසලානය - ශ්‍රී ලංකා සංඥා බලකා කණ්ඩායම
පලඟ ශූරතාව - විජයබාහු පාබල රෙජිමේන්තු කණ්ඩායම
පලඟ අනුශූරතාව - ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා කණ්ඩායම
බදුන ශූරතාව - ගැමුණු හේවා බලකා කණ්ඩායම
බදුන අනුශූරතාව - ශ්‍රී ලංකා පාබල හමුදා කණ්ඩායම
පලිහ ශූරතාවය - ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා කණ්ඩායම
පලිහ අනු ශූරතාව - ගජබා රෙජිමේන්තු කණ්ඩායම