24th August 2022 20:30:00 Hours
‘විරුජන පදනමෙහි’ නිර්මාතෘ සහ සභාපති කේ.පී චන්ද්‍රරත්න මහතා විසින් රචිත ‘Civilian Bravery in Sri Lanka 1993 – 2018’ ග්‍රන්ථයේ පිටපතක් අද (24) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ වෙත පිළිගන්වන ලද අතර, එම කෘතියෙහි 1993 සිට 2018 වසර දක්වා පසුගිය වසර 25ක කාලය සිවිල් වැසියන්ගේ නිර්භීත ක්‍රියාවන් පිළිබඳ විස්තර ඇතුලත්ය.
එම සුහඳ හමුවේදී ග්‍රන්ථයෙහි කතුවරයා වන කේ.පී චන්ද්‍රරත්න මහතා විසින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත අදහස් දක්වමින් පැහැදිලි කළේ මෙම ග්‍රන්ථය රචනා කිරීමට හේතු පාදක වූ කරුණ වූයේ අතීතයේදී ලාංකීය සිවිල් ජනතාව තම ජීවිතය පරදුවට තබා සිදු කළ සුවිශේෂී නිර්භීත ක්‍රියාවන් අගය කිරීමට බවයි. ග්‍රන්ථය තුලින් වැඩි දුරටත් කතුවරයා මුහුදේ ගිලී යාමෙන් ජීවිත බේරා ගැනීම්, රිය අනතුරු, දුම්රිය අනතුරු සහ හදිසි අනපේක්‍ෂිත අවස්ථාවන්හිදී අන් අයගේ ජීවිත බේරා ගැනීමට නිර්භීත පුද්ගලයන් ගනු ලැබූ කාලෝචිත ක්‍රියාකාරකම් විස්තර කරයි.
එහිදී යුද්ධ හමුදාධිපතිතුමන් අදහස් දක්වමින් ප්‍රකාශකර සිටියේ අභියෝගයේ ස්වභාවය කුමක් වුවත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව පැය විසිහතර මුළුල්ලේම මෙරට ජනතාවට සේවය කිරීමට කැපවී සිටින අතර, සිවිල් සමාජයේ පුද්ගලයන් විසින්ද සිදුකරන නිර්භීත ක්‍රියාවන්ට නිසි පිළිගැනීමක් ලබා දී ඔවුන් ඇගයීමට ‘විරුජන පදනම’ වැනි සංවිධානයක් ආරම්භ කිරීම කාලෝචිත ක්‍රියාවක් බව සඳහන් කරමින් කේ.පී චන්ද්‍රරත්න මහතා වෙත ප්‍රශංසා කරනු ලැබූ අතර, සංවිධානයේ ඉදිරි අභිවෘද්ධිය වෙනුවෙන් සුබපැතුම්ද එක් කළේය.
2009 අංක 4 දරන පාර්ලිමේන්තු පනත මගින් ස්ථාපනය කර ඇති ‘විරුජන පදනම’ එහි නිර්මාතෘ සහ වත්මන් සභාපති කේ.පී චන්ද්‍රරත්න මහතාගේ මූලිකත්වයෙන් 1993 මස ජනවාරි 03 දින ආරම්භ කරන ලදී. විරුජන පදනමෙහි මුල්ම ඇගයීමේ කටයුත්ත වූයේ 1993 වසරේදී කළුතර උක්වත්ත ප්‍රදේශයේ ගඟක යාත්‍රා කරමින් තිබූ පාරුවක් ගඟ මැදදී පෙරළී යාමෙන් තම ජීවිත අවධානමද නොතකා එහි සිටි සිවිල් වැසියන් 6 දෙනෙකු බේරා ගැනීමට ගත් උත්සාහයේදී දිවිපිදූ නිර්භීත ශ්‍රී ලාංකීය සිවිල් පුරවැයෙකි. එහිදී කේ.පී චන්ද්‍රරත්න මහතා විසින් අදහස් දක්වමින් ‘‘ඕනෑම ශිෂ්ට සමාජයක පරම යුතුකම වන්නේ විශේෂයෙන්ම වර්තමාන සමාජ යේ, එවැනි වීර ක්‍රියාවන් සිදුකරන නිර්භීත පුද්ගලයන් හඳුනා ගැනීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බව’’ ප්‍රකාශ කරන ලදී.
සුහද හමුව අවසානයේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සුහදත්වය සංකේතවත් කරමින් ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් කේ.පී චන්ද්‍රරත්න මහතා වෙත සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.