24th August 2022 21:02:08 Hours
පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල - 2022 තරඟාවලියේ පැරා කවපෙත්ත විසිකිරීමේ තරඟ ඉසව්වෙන් (F42-44/61-64 කාණ්ඩයේ) රිදී පදක්කමක් දිනාගත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සැරයන් එච්.ජී පාලිත බණ්ඩාර සහ කිලෝග්‍රෑම් 55 බර ඉසිලීමේ තරඟ ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනාගත් කෝප්‍රල් වයි.ඩී.අයි කුමාර අද (24) දින යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ හමුවූ අතර, එහිදී ඔවුන් වෙත මූල්‍යමය දිරිගැන්වීම් ප්‍රදානයන් සිදුකරන ලදී.
ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් ‘පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල - 2022’ තරඟාවලිය සඳහා මලල ක්‍රීඩා, බර ඉසිලීම, පැරා කවපෙත්ත විසිකිරීම සහ අනෙකුත් ක්‍රීඩා තරඟ ඉසව් සඳහා යුද්ධ හමුදා ක්‍රීඩකයින් 37 දෙනෙකු සහභාගී වූ අතර, එහිදී පැරා කවපෙත්ත විසිකිරීමේ තරඟ ඉසව්වේ F42-44/61-64 කාණ්ඩය යටතේ මීටර් 44.20 ක දුරක් වාර්තා කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ජාතික ආරක්‍ෂක බලමුළුවේ සැරයන් එච්.ජී.පාලිත බණ්ඩාර රිදී පදක්කමද, 2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ කෝප්‍රල් වයි.ඩී.අයි. කුමාර කිලෝග්‍රෑම් 55 බර ඉසිලීමේ ඉසව්වේ ලෝකඩ පදක්කමද, මීටර් 100 ධාවන ඉසව්වේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ මාණ්ඩලික සැරයන් යුපුන් අබේකෝන් විසින්ද දිනා ගන්නා ලදී.
එම සුහද හමුවේදී ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් පදක්කම් ලාභී ක්‍රීඩකයින්ගේ ජයග්‍රහණයන් ඇගයීමට ලක් කරමින් ඔවුන්ට සුභ පැතුම් පිරිනැමූ අතර, ජාත්‍යන්තර තරඟ ඉසව්වකදී ඔවුන් දැක්වූ ක්‍රීඩා කුසලතා සහ දස්කම් පිළිබඳවද ප්‍රශංසා කරමින් ඔවුන්ගේ ක්‍රීඩා කුසලතාවයන් තව දුරටත් වැඩි දියුණු කරගැනීම සඳහා අඛණ්ඩව සහාය ලබා දෙන බවට සහතික වූහ. එහිදී යුද්ධ හමුදාධිපතිතුමන් විසින් මාණ්ඩලික සැරයන් උපුන් අබේකෝන් මීළඟ නිලයට උසස් කිරීමට අවශ්‍ය උපදෙස්ද ලබා දෙන ලදී.
සුහද හමුව අතරතුරදී යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ඔවුන්ගේ අනාගත පුහුණු කටයුතු සඳහා දිරිගැන්වීමක් වශයෙන් සැරයන් එච්.ජී. පාලිත බණ්ඩාර වෙත රුපියල් 375,000.00 ක වටිනාකමින් යුත් මුදල් චෙක්පතක් සහ කෝප්‍රල් වයි.ඩී.අයි කුමාර වෙත රුපියල් 500,000.00 ක වටිනාකමින් යුත් මුදල් චෙක්පතක් ප්‍රදානය කරන ලදී.
යුද්ධ හමුදාධිපති කාර්යාලයේ පැවති මෙම හමුව සඳහා යුද්ධ හමුදා ක්‍රීඩා අධ්‍යක්‍ෂක මණ්ඩලයේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් නලින් බණ්ඩාරනායක සහ යුද සේවා සහකාර කර්නල් ශ්‍රී රාජපක්‍ෂ යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ද එක් වූහ.