Header

Sri Lanka Army

Defender of the Nation

23rd August 2022 19:38:05 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය සිය 30 වැනි සංවත්සරය අභිමානවත් අයුරින් සමරයි.

වර්ෂ 1992 අගෝස්තු මස 20 වන දින පාර්ලිමේන්තු පනතක් මගින් දියතලාවේ ස්ථාපිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කීර්තිමත් සහ ප්‍රමුඛතම නිලධාරි පුහුණු කිරීමේ ආයතනය ලෙසට පත්කරන ලද අතර, එහි 30 වන සංවත්සර උත්සවය අගෝස්තු මස 17 සිට 20 දින දක්වා ආගමික වතාවත්වලට ප්‍රමුඛත්වයක් ලබා දෙමින් යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව විවිධ ප්‍රජා සත්කාරක වැඩසටහන් පවත්වමින් අභිමානවත් අයුරින් සමරනු ලැබීය.

සංවත්සර උත්සවය ආරම්භ කරමින් බදාදා (17) දින එම විද්‍යා පීඨයේ හමුදා සාමාජිකයින් සියයකට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් එදින පුරාම දියතලාව මූලික රෝහල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලද අතර, බ්‍රහස්පතින්දා (18) දින යුද්ධ හමුදා විද්‍යාපීඨ මූලස්ථාන පරිශ්‍රය වෙත මහා සංඝරත්නය වැඩමකරවා සර්ව රාත්‍රීක පරිත්‍රාන ධර්ම දේශණයක් පවත්වා පසු දින උදෑසන ඇල්ලේගම ශ්‍රී සුමංගලාරාම විහාරස්ථානයේ වැඩ වසන බෞද්ධ භික්ෂූන් වහන්සේලා දස නමක් විශයෙහිලා සංඝගත දක්‍ෂිණාවක් පූජා කරනු ලැබීය.

එහිදි ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ දිවංගත සියලුම නිර්මාතෘවරුන් සිහිපත් කරමින් පින් අනුමෝදනාවන් සිදුකල අතර, එමෙන්ම සේවයේ නියුතු කාර්ය මණ්ඩල සාමාජිකයින්ට ආශිර්වාද කර සර්ව ආගමික වතාවත් පවත්වන ලදී. ඒ සඳහා ප්‍රදේශයේ සිද්ධස්ථානයන්හි පූජ්‍ය සහ පූජක පක්‍ෂයන් නියෝජනය කරමින්, ඇල්ලේගම ශ්‍රී සුමංගාලාරාම විහාරාධිපති පූජ්‍ය කදුරුගමුවේ රතනවංශ හිමි, මුත්තු මාරි හින්දු කෝවිලේ කුරුක්කල් කේ.ආර්.රෙන්ගනාදන් ශර්මා, බළන්ගොඩ ප්‍රධාන ජුම්මා මුස්ලිම් පල්ලියේ මවුලවි ඉසෙක් රිසාඩ් සහ දියතලාව කතෝලික දේවස්ථානයේ ගරු සෑම් පෙරේරා පියතුමාගේ ප්‍රධානත්වයෙන් සිකුරාදා (19) දින පවත්වනු ලැබූහ.

අනතුරුව සිකුරාදා (19) දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨ පරිශ්‍රයෙහි පිහිටි රණවිරු ස්මාරකය අභියසදී රට වෙනුවෙන් දිවිපිදූ වීරෝධාර රණවිරුවන් සිහිපත් කරමින් ඔවුන් වෙනුවෙන් හමුදා සම්ප්‍රදායානූකූල සම්මාන මුරයක් පවත්වනු ලැබූ අතර, එම උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයෙහි සේනාවිධායක මේජර් ජෙනරල් නලින්ද නියංගොඩ විසින් රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුදකරන ලදී. ඊට නියෝජ්‍ය සේනාවිධායක සහ අනෙකුත් අංශ ප්‍රධානීන්ද එක් වූහ. අනතුරුව විශේෂ සුබසාධන වැඩසටහනක් මගින් පසුගිය කාලයේ විද්‍යාපීඨයේ රාජකාරි කරමින් සිටියදී අභාවප්‍රාප්ත වූ හමුදා සාමාජිකයින්ගේ සහ සිවිල් කාර්ය මණ්ඩලයේ පවුල් සඳහා අත්‍යාවශ්‍ය භාන්ඩ තොගයක්ද බෙදා දෙන ලදී.

ඉන් අනතුරු යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායක විසින් යුද්ධ හමුදා සාමාජිකයන් අමතමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය ජාතිය වෙනුවෙන් සිදුකරන සුවිශේෂී සේවාව සහ විද්‍යාපීඨය වර්තමාන තත්ත්වය පිළිබඳව සහ ඒ සඳහා හිටපු සේනාවිධායකවරුන් දැක්වූ දායකත්වය ඇගයීමට හා පැසසුමට ලක් කළේය.

අනතුරුව හමුදා සම්ප්‍රදායානුකූලව පැවැති සම්මාන මුරයෙන් අනතුරුව, මේජර් ජෙනරල් නලින්ද නියංගොඩ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් විද්‍යාපීඨ පරිශ්‍රය තුළ නා පැළ, ඩ්‍රැගන් ෆෘට්, පෙයාර්ස් සහ පේර ආදී පැළ රෝපණය කරන ලදී. උත්සව මාලාවේ සමාප්තිය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායකතුමන්ගේ ප්‍රධානත්වයෙන් සියලු නිල දිවා භෝජන සංග්‍රහයක්ද පවත්වන ලදී.

1948 දී මෙරටට නිදහස ලැබීමත් සමඟ 1949 ඔක්තෝබර් මස 10 වන දින ලංකා හමුදාව පිහිටුවන ලද අතර, නව ලංකා හමුදාවේ හමුදා පුහුණුවීම් සඳහා අවශ්‍ය භූගෝලීය පිහිටීම අනුව දියතලාව ප්‍රදේශය තෝරා ගන්නා ලදී. ඒ අනුව එහි යුද්ධ හමුදා බඳවා ගැනීමේ පුහුණු මධ්‍යස්ථානය පිහිටුවන ලදී. පසුව එය 1964 දී යුද්ධ හමුදා පුහුණු මධ්‍යස්ථානය (ATC) ලෙස නම් කරනු ලැබීය. 1972 දී එවකට සිටි අතිගරු ජනාධිපති විලියම් ගොපල්ලව මැතිතුමන් විසින් යුද්ධ හමුදා පුහුණු මධ්‍යස්ථානය වෙත වර්ණ ප්‍රදානය කරන ලද අතර, 1997 ජූනි මස 21 වන දින එවකට සිටි අතිගරු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය විසින් ජනාධිපති වර්ණ ප්‍රදානය කරන ලදී. පසුව 1992 අගෝස්තු මස 20 වන දින යුද්ධ හමුදා පුහුණු මධ්‍යස්ථානය ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යපීඨය ලෙස නම් කරන ලදී. වර්ථමානයේදී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යපීඨය විවිධ ක්‍ෂේත්‍රයන් ඔස්සේ නිලධාරීන් පුහුණු කිරීමෙහිලා දැවැන්ත මෙහෙවරක් සිදුකරනු ලබයි. ඒ අනුව එමගින් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයට (KDU) අනුබද්ධව හමුදා අධ්‍යයන පිළිබඳ උපාධි, උසස් ඩිප්ලෝමා පාඨමාලා සහතිකපත් පිරිනමයි. මෙලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය අසමසම වූ අද්විතීය කීර්තිමත් ඉතිහාසයකට උරුමකම් කියනු ලබයි.